නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස, රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ 2024 නොවැම්බර් මස 05 වන දින පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය අද දින (2024 නොවැම්බර් 08) නාවික හමුදා මූලස්ථානයේදී, රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ වෙත නිල වශයෙන් ප්‍රදානය කර සිය සුභපැතුම් පිරිනැමීම සිදුකෙරිණි.

මහනුවර, කිංග්ස්වුඩ් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ, 1990 වර්ෂයේදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලීය 08 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් වී ඇත. කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයෙන් සහ ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයෙන් මූලික පුහුණුව සාර්ථකව සම්පූර්ණ කර, 1992 වර්ෂයේ උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන ඔහු, උප ලුතිනන් තාක්‍ෂණික පාඨමාලාව 1995 වර්ෂයේදී ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේදී සාර්ථකව හදාරා, මාලිමා හා දිශා පිළිබඳ දීර්ඝ පාඨමාලාව ඉන්දීය නාවික නෞකා වෙන්ඩූර්ති පුහුණු පාසල වෙතින් 2002 වර්ෂයේදී හදාරා ඇත. චීනයේ නැංජින් හි පිහිටි ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් 2008 වර්ෂයේදී මාණ්ඩලික පාඨමාලාව සම්පූර්ණ කරන රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ, ආරක්‍ෂක අධ්‍යනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙතින්ද, ජාතික ආරක්‍ෂක හා උපායමාර්ගික අධ්‍යනය පිළිබඳ පාඨමාලාව කොළඹ ජාතික ආරක්‍ෂක විද්‍යායතනය වෙතින්ද ලබා, සිය වෘත්තීය ජීවිතයේ ක්‍රමාණුකූලව උසස් වීම් ලබන ඔහු, 2022 වර්ෂයේ දෙසැම්බර් මස 18 වන දින රියර් අද්මිරාල් නිලයට උසස් වී ඇත.

සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ නිලතල රාශියක් දරා ඇති රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ, වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ ආයතනයන්හි අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදු කොට ඇත. තවද, විධාන මෙහෙයුම් නිලධාරී සහ විධාන බුද්ධි නිලධාරී (බටහිර), නාවිකයින් පුහුණු කිරීමේ මධ්‍යස්ථානය සාම්පූර්හි පුහුණු විධායක, සපුගස්කන්ද ආරක්‍ෂක ‍සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපදේශක (නාවික), වරාය පහසුකම් ආරක්‍ෂක නිලධාරී (පුත්තලම වරාය) සහ අධීක්‍ෂණ නිලධාරී වෙරළබඩ මුර යාත්‍රා පුහුණු මධ්‍යස්ථානය, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික විශේෂ බළකා, නාවික අණභාර නිලධාරී (වැලිසර), නියෝජ්‍ය ආඥාපති බටහිර නාවික පෙදෙස සහ වරාය පහසුකම් ආරක්‍ෂක නිලධාරී (කොළඹ වරාය), අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු සහ ආඥාපති උතුරු නාවික පෙදෙස වැනි ප්‍රමුඛ නිලතල දරා ඇති කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.