නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ප්‍රියාල් විතානගේ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 34 කට අධික සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් ප්‍රියාල් විතානගේ අද දින (2024 නොවැම්බර් 05) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ප්‍රමුඛ නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 55 වන උපන් දිනය යෙදී ඇති රියර් අද්මිරාල් ප්‍රියාල් විතානගේ වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද ‍කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් රියර් අද්මිරාල් ප්‍රියාල් විතානගේ වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.

1990 වර්ෂයේදී 08 වන කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලීය බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් ප්‍රියාල් විතානගේ, සිය වසර 34 කට අධික සේවා කාලය තුළ විවිධ ආයතන සහ නෞකාවන්හි අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර ඇත. තවද, ඔහු ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරී (මානව සම්පත්), සාමාන්‍යාධිකාරී (මාලිමා සත්කාරක සේවාව), නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික ප්‍රතිපත්ති හා සැලසුම්, අධ්‍යක්‍ෂ නාවික සුභසාධන, නාවික අණභාර නිලධාරී (ත්‍රීකුණාමලය දකුණ), නියෝජ්‍ය ආඥාපති උතුරු නාවික පෙදෙස හා වරාය පහසුකම් ආරක්‍ෂක නිලධාරී (කන්කසන්තුරේ වරාය) සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා වැනි ප්‍රමුඛ නිලතල දරා ඇති කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.