නාවික හමුදාවේ දායකත්වයෙන් තණමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පුන්‍යකර්මය උත්කර්ෂවත් අයුරින් පවත්වයි
තණමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය මෙවරත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ බැති බර දායකත්වයෙන් 2024 නොවැම්බර් මස 02 සහ 03 දෙදින උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු කෙරිණි.
ඓතිහාසික කිතුල්කොටේ ආරණ්‍ය සේනාසනය ලෙස ද සැදැහැවත් බෞද්ධයන් අතර ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන මෙම රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික වස් ආරාධනා කිරීමේ සහ කඨින චීවර පූජා කිරීමේ පුණ්‍යකර්මය වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකා නාවික හමුදා බෞද්ධ සංගමයේ පූර්ණ දායකත්වයෙන් සිදුකරනු ලබයි.
ඒ අනුව, මෙවර කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ කඨින පුණ්‍ය මහෝත්සවය, එම භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති, පූජ්‍ය වලස්මුල්ලේ ගුණරතන නාහිමිගේ අනුශාසනා පරිදි, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ මඟපෙන්වීම මත දකුණු නාවික විධානය විසින් සංවිධානය කෙරිණි.
දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වාගේ අධීක්ෂණයෙන් මෙම කඨින චීවරය 2024 ඔක්තෝබර් මස 29 වන දින සිට දකුණු නාවික විධානයේ ආයතන වෙත වැඩම කරවා එම ආයතනයන්ට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයින්ගේ වන්දනාමානය පිණිස අවස්ථාව සලසන ලද අතර, 2024 නොවැම්බර් මස 02 වන දින මෙම කඨින පුණ්‍ය මහෝත්සවයට සමගාමීව කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ බෝධි පුජා පිංකමක් සහ සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාවක් පවත්වන ලදි. අනතුරුව, 2024 නොවැම්බර් මස 03 වන දින අළුයම හම්බන්තොට, ශ්‍රී ලංකා නාවික නෞකා කාවණ්තිස්ස ආයතනයේ සිට කිතුල්කොටේ සුදර්ශන බෞද්ධ මධ්‍යස්ථානය දක්වා විශේෂ රථයකින් කඨිණ චීවරය වැඩම කරවන ලදි. අනතුරුව, දකුණු නාවික විධානය විසින් සංවිධානය කළ විචිත්‍රවත් පෙරහැරක් මඟින් කඨින චීවරය කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානය වෙත වැඩම කරවා බෞද්ධාගමික වත් පිළිවෙත් සිදු කරන ලද අතර, එහිදී ගරුතර මහා සංඝරත්නය 38 නමක් විෂයෙහි දහවල් දානය හා පිරිකර පූජා කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, මාලා ළමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
මෙම කඨිණ පුණ්‍ය මහෝත්සවය සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නිශාන්ත පීරිස්, නාවික හමුදා බෞද්ධ සංගමයේ සභාපති සහ අධ්යක්ෂ ජෙනරාල් සෞඛ්‍ය හා සේවා වෛද්‍ය රියර් අද්මිරාල් ජානක මාරඹේ, බටහිර නාවික නිධානයේ අඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වා, අධ්යක්ෂ ජෙනාරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් චින්තක රාජපක්ෂ ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ දකුණු නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, නාවිකයන් මෙන්ම ප්‍රදේශයේ බැතිමතුන් පිරිසක්ද සහභාගි වී සිටියහ.