ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය වෙනුවෙන් ධජ ආශිර්වාද පූජා සහ කඤ්චුක පූජා පුණ්‍ය මහෝත්සවය අනුරාධපුර පුද බිමේදී

2024 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් නාවික ධජයන් වෙත සෙත් පැතීමේ ධජ ආශිර්වාද පූජා පුණ්‍ය මහෝත්සවය සහ කඤ්චුක පූජා පුණ්‍ය මහෝත්සවය මෙවරත් නාවික හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් 2024 නොවැම්බර් මස 02 වන දින ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී සහ රුවන්වැලි මහා සෑ රදුන් අබියස දී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, මාලා ලමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කර ඇත.

ඒ අනුව, එම වැඩසටහන් මාලාවේ බෞද්ධාගමික වැඩසටහන් ආරම්භ කරමින්, 2024 නොවැම්බර් මස 02 වන දින උදෑසන නාවික හමුදාධිපති විසින් අටමස්ථානාධිපති, නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන හිමි බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව, නාවික ධජයන් වෙත ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා නාවික ධජයන් විචිත්‍රවත් පෙරහැරක් මඟින් රැගෙනවිත් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස තැන්පත් කිරීම සිදු කෙරිණි. අනතුරුව, නාවික ධජයන්ට ආශිර්වාද පතා පිරිත් සඡ්ඣායනය කර, ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සිදු කෙරිණි. එහිදී, නාවික හමුදාධිපති ගේ ආරාධනයෙන්, අටමස්ථානාධිපති, අතිපූජ්‍ය පල්ලේගම හේමරතන හිමි ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය විසින්, හැත්තෑ හතර (74) වසරක් පුරා නාවික හමුදාව පැමිණි දීර්ඝ ඉතිහාසය තුළ මව්බිමෙහි ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සහ රණක්ෂිතයට පත් වූ සියළුම වීරෝධාර නාවික හමුදා රණ විරුවන් වෙත පුණ්‍යානුමෝදනා සිදු කර, නාවික හමුදාධිපති ප්‍රමුඛ සියළුම නාවික හමුදා පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත ආශිර්වාද ප්‍රාර්ථනා කෙරිණි.

2024 නොවැම්බර් මස 02 දින සන්ධ්‍යාවේ, නාවික හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් සංවිධානය කෙරුණු කඤ්චුක පූජා පිංකම රුවන්වැලි මහා සෑ රදුන් අබියස දී බෞද්ධාගමික වත් පිළිවෙත් අනුගමනය කරමින් පැවැත්විණි. එහිදී, අලංකාරවත් පෙරහැරකින් රැගෙන ආ මීටර 300 ක පමණ දිගකින් යුත් බෞද්ධ ධජයක් රුවන්වැලි මහා සෑ ගර්භය වටා පැළඳවීම නාවික හමුදාධිපති ප්‍රමුඛ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික හමුදා බෞද්ධ සංගමයේ සාමාජිකයින් විසින් සිදුකිරීමෙන් අනතුරුව ගරුතර මහා සංඝරත්නය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වන සංවත්සරය වෙනුවෙන් නාවික හමුදාධිපති ඇතුළු සමස්ත නාවික හමුදාව වෙත ආශිර්වාද ප්‍රාර්ථනය කෙරිණි.

මෙම ආගමික වැඩසටහන සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කාංචන බානගොඩ, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නිශාන්ත පීරිස්, නාවික හමුදා බෞද්ධ සංගමයේ සභාපති වෛද්‍ය රියර් අද්මිරාල් ජානක මාරඹේ ඇතුළු නාවික හමුදා ‍ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර ඇතුළු විධාන ආඥාපති වරුන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, ධජ නිලධාරීන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.