2024 පර්යේෂණ සහ සංවර්ධනය දිශානති පාඨමාලාවේ සහතික ප්රදානෝත්සවය වැලිසරදී
ශ්‍රී ලංකා නාවික හමුදාවේ පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්රය සඳහා නාවිකයින් පුහුණු කිරීම සහ දිරිගැන්වීමේ අරමුණින්, පර්යේෂණ සහ සංවර්ධනය දිශානති පාඨමාලාව 2024 ඔක්තෝබර් මස 21 වන දින සිට 30 වන දින දක්වා පැවති අතර, එහි සහතිකපත් ප්රදානෝත්සවය වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා තක්ෂිලා ආයතනයේ පිහිටි පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ සම්මන්ත්රණ ශාලාවේදී 2024 ඔක්තෝබර් මස 30 වන දින පැවැත්වීමට කටයුතු කෙරිණි.
අධ්යක්ෂ නාවික ප්‍රතිපත්ති සහ සැලසුම්, කොමදෝරු දුමිදු අබේවික්‍රම ගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කෙරුණු පර්යේෂණ සහ සංවර්ධනය දිශානති පාඨමාලාව 2024 මඟින් ‘Basic technological trends in electronics, computer programming, embedded systems, printed circuit development, mobile application development’ යන මාතෘකා ආවරණය කෙරිණි. ඊට අමතරව, ශ්‍රී ලංකාවේ හමුදා පර්යේෂණ ආයතනයන්ගේ ඉතිහාසය සහ ව්‍යුහය, පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්රයේ අනාගත අභියෝග, කෘතිම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණික දියුණුව පිළිබඳවද මෙහිදී නාවිකයින් දැනුවත් කිරීම සිදු කෙරිණි.
මෙම පුහුණු වැඩසටහන සඳහා විදුලි, ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු සහ යාත්‍රික යන අංශ නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් පිරිසක් සහභාගී වූ අතර එහි සහතිකපත් ප්රදානය සඳහා නියෝජ්‍ය අධ්යක්ෂ නාවික ප්‍රතිපත්ති සහ සැලසුම්, කපිතාන් හේමන්ත රණසිංහ සහ වැඩ බලන නියෝජ්‍ය අධ්යක්ෂ (නාවික පර්යේෂණ හා සංවර්ධන), කොමාණ්ඩර් (ඉංජිනේරු) බුද්ධික රන්දිමාල් ඇතුළු නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.