නාවික හමුදාව විසින් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ පුහුණු අභ්‍යාසයක් කොළඹ වරායේදී සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින්; හදිසි රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව අවස්ථාවකදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව පුහුණු අභ්‍යාසයක් 2024 ඔක්තෝබර් මස 30 වන දින කොළඹ වරාය පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් හා මඟපෙන්වීම මත, නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම පුහුණු අභ්‍යාසය මඟින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය, කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය, ජය බහාලූම් පර්යන්තය සහ කොළඹ නැව් තඨාකංගන පෞද්ගලික සමාගම නියෝජනය කරමින් සහභාගීවූ නියෝජිතයන් සඳහා රසායනික උපද්‍රව පිළිබඳ න්‍යායික හා ප්‍රායෝගික දැනුම ලබාදීම සිදු කෙරිණි.

මෙහි න්‍යායික පුහුණු සැසිය තුළදී රසායනික උපද්‍රව අනාවරණය, හඳුනා ගැනීම, ආරක්‍ෂක ක්‍රමවේද සහ ගලවා ගැනීමේ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීම සිදු කෙරුණු අතර, එහි ප්‍රායෝගික සැසිය මඟින් හදිසි රසායනික උපද්‍රවයකදී අදාල ආරක්‍ෂිත උපාංග සහ උපකරණ නිසි ලෙස හැසිරවීම, පුද්ගලයින් ආරක්‍ෂිතව ඉවත් කිරීම, අන්තරායදායක රසායනික සංයෝගයන් ආරක්‍ෂිතව බැහැර කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳ දැනුවත් කිරීම සිදු කෙරිණි.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රථම ප්‍රතිචාර දක්වන්නා ලෙස (First Respondent) කොළඹ, ගාල්ල, හම්බන්තොට, ත්‍රීකුණාමලය සහ කන්කසන්තුරේ යන ප්‍රධාන වරාය පරිශ්‍රයන් සහ මුහුදු ප්‍රදේශ තුළ සිදුවන රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික හඳිසි අවස්ථාවන් කඩිනමින් නිවැරදිව කළමණාකරනය කිරීම සඳහා වෘත්තීය දායකත්වය ලබාදීමට නිරන්තර අවධානයෙන් සිටියි.