නාවික හමුදාව විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය නිලධාරීන් සඳහා කිමිදුම් වෛද්‍ය පුහුණු වැඩසටහන් ත්‍රීකුණාමලයේදී සාර්ථකව පවත්වයි
ශ්‍රී ලංකාව තුළ කිමිදුම් වෛද්‍ය විද්‍යාව සම්බන්ධ දැනුම ප්‍රචලිත කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව, වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් සඳහා කිමිදුම් ප්‍රථිකාර සිදුකරනු ලබන නැවත සම්පීඩනය කිරීමේ කුටීරය (Recompression Chamber) හා හයිපර්බරික් ඔක්සිජන් චිකිත්සාව (Hyperbaric Oxygen) පිළිබඳ න්‍යායාත්මක සහ ප්‍රායෝගික වැඩමුළුවක් නැගෙනහිර නාවික විධාන කිමිදුම් ඒකකයේදී අධියර දෙකක් යටතේ 2024 ජූනි 07 සිට 09 දක්වා සහ 2024 ඔක්තෝබර් මස 26 සහ 27 යන දෙදින තුළ සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් සහ මඟපෙන්වීම මත කිමිදුම් කටයුතු සිදු කිරීමේදී ඇතිවන සංකූලතා සඳහා ප්‍රථිකාර කිරීම මෙන්ම නැවත සම්පීඩනය කිරීමේ කුටීරය භාවිතයෙන් සංකූලතාවයට ලක්වූ කිමිඳුම්කරුවන් හයිපර්බරික් ඔක්සිජන් චිකිත්සාව මඟින් කළමනාකරණය කිරීම සම්බන්ධ න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික අත්දැකීම් ලබාදීමට මෙම වැඩමුළුව මඟින් නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
තවද, මෙම වැඩසටහන් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී වූ අතර, වැඩ බලන කොමදෝරු අධිකාරී සෞඛ්‍ය (නැගෙනහිර) වෛද්‍ය කපිතාන් දුමින්ද සමරවික්‍රම, විධාන කිමිදුම් වෛද්‍ය නිලධාරී (නැගෙනහිර) වෛද්‍ය ලුතිනන් ලහිරු නවගමුව සහ නැගෙනහිර නාවික විධාන කිමිදුම් ඒකකයේ නාවික පුද්ගලයින් පිරිසකගේ සම්පත් දායකත්වය ලබාදීමට කටයුතු කෙරිණි.