නාවික හමුදාධිපති නාවික තඨාකාංගණයේ නිල සංචාරයක නිරත වෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2024 ඔක්තෝබර් මස 26 සහ 27 යන දෙදින තුළ නාවික තඨාකංගණයේ නිල සංචාරයක නිරත වෙමින්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සමඟ එම විධානය මඟින් සිදුකරනු ලබන මෙහෙයුම් කටයුතු, සංවර්ධන හා සුභසාධන ව්‍යාපෘති නිරීක්ෂණය කර, නාවික හමුදාවේ කාර්යය භාරය සම්බන්ධයෙන් නාවික තටාකංගණයේ නිලධාරීන්, පුහුණු වන නිලධාරීන් සහ නාවිකයන් දැනුවත් කිරීම සිදුකෙරිණි.
එහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, රට දුෂ්කර කාල වකවානුවක් පසු කරමින් ක්‍රමයෙන් යාථාතත්වයට පත්වෙමින් තිබෙන බවත්, ඇති වූ ආර්ථික දුෂ්කරතා ඉදිරියේදී ක්‍රමයෙන් යථාතත්වයට පත්වනු ඇති බවත් පවසන ලදී. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, පැවති දුෂ්කරතා හමුවේ පුහුණු කටයුතු සහ යටිතල පහසුකම් වෙනුවෙන් වෙන් කළ ප්‍රථිපාදන සීමාවූ බවත්, ඉදිරියේදී ඒ සඳහා ප්‍රථිපාදන වෙන් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත්, තවදුරටත් පුද්ගලික ආර්ථික කටයුතු නිසි කළමණාකරනයකින් යුතුව පවත්නා ආර්ථික තත්වයට අනුගත වෙමින් පවත්වාගෙන යෑම සෑම නාවික හමුදා පුද්ගලයෙකු වෙතින්ම අපේක්ෂා කරන බවත් අවධාරණය කළ අතර, නාවික හමුදාව වෙත වෙන් කරන ලද ප්‍රථිපාදන උපරිම කළමණාකරණයකින් යුතුව නාවික හමුදාවේ මෙහෙයුම් සහ යටිතල පහසුකම් සංවර්ධනයට භාවිතා කළ බවටත් ප්‍රකාශ කරන ලදී.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, දුපත් රාජ්‍යක සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් ප්රමුඛ වගකීමක් නාවික හමුදාවට පැවරෙන බැවින්, විවිධ දුෂ්කරතා හමුවේ වුවද, නාවික හමුදාව දේශීය ජල තීරයෙන් ඔබ්බට ගොස් ඉන්දියානු සාගර කලාපය ඔස්සේ සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පවත්වා රටේ මතු පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදා ගැනීමට විශාල උත්සහයක නිරත වන බවත්, ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාවට කැපවෙන පාර්ශවකරුවෙකු වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය තර්ජන මැඩ පැවැත්වීම, නිදහස් මුහුදු ගමනාගමනය තහවුරු කිරීම සහ ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් කලාපයේ පමණක් නොව, යාබද සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් කලාපයන් තුලද නාවික හමුදාව සිදුකරනු ලබන මෙහෙයුම් හේතුවෙන් දේශීය හා විදේශීය වශයෙන් නාවික හමුදාවට විශාල පිළිගැනීමක් ලැබී ඇති බවත් පවසන ලදි. විශේෂයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව කලාපීය හා කලාපීය නොවන රාජ්‍යන්ගේ නාවික හමුදා සමඟ සහයෝගීත්වය වර්ධනය කර ගනිමින් ජාත්‍යන්තර සබඳතා වර්ධනය කර ගැනීමට සමත්වී ඇති බව පැවසු නාවික හමුදාධිපති, එලෙස නාවික හමුදාව වෙත ජාත්‍යන්තරයෙන් ලද විශාල පිළිගැනීම හේතුවෙන් ඒකාබද්ධ සමුද්‍රීය බළකායේ 39 වන සාමාජිකයා ලෙස සන්ධාන ගත වීමටත්, එළඹෙන වර්ෂයේදි එම බළකායේ 154 වන කාර්යසාධක බලකාය වෙත අණදෙමින් අනෙක් කාර්යසාධක බලකායන්ගේ පුහුණු කටයුතු පිළිබඳ වගකීම ඉටුකිරීමටද ශ්‍රී ලංකා නාවික හමුදාවට අවස්ථාව ලැබීම, ශ්‍රී ලංකාව වෙත ජාත්‍යන්තරයෙන් විශාල කීර්තියක් ගෙන දීමට සමත්වන බවත් පවසන ලදී.
නාවික හමුදාවේ මෙම ජාත්‍යන්තර සබඳතා හේතුවෙන් ඉදිරියේදී නාවික හමුදාවේ නෞකා බල ඇණිය තවදුරටත් පුළුල් කරමින් ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාවක් ලැබීමට නියමිත බවත්, ත්‍රීකුණාමලයේ ඉදිකරමින් පවතින පාවෙන තටාකාංගනයේ ඉදිකිරීම් අවසන් වීමෙන් පසු විශාල නෞකා හා යාත්‍රාවන් නඩත්තු කටයුතු ආරම්භ කිරීමෙන් පසු නෞකා හා යාත්‍රා නඩත්තු කටයුතු සඳහා වෙන් කරනු ලබන විශාල පිරිවැයක් රජයට ඉතිරි කරදීමට හැකි බවත්, ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය මඟින් සිදුකරනු ලබන මෙහෙයුම් කටයුතු ද ඉදිරියේදී තවදුරටත් පුළුල්වී ජාතික ආර්ථිකයට ශක්තියක් වනු ඇති බවත්, ජල ශාස්ත්‍රීය මෙහෙයුම් කටයුතු සඳහා ඔස්ට්‍රේලියාවෙන් නෞකාවක් සහ උපකරණ ලැබීමටද නියමිත බවත්, ඉදිරියේදී ජාත්‍යන්තර සහයෝගය මත ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත දේශිය හා විදේශිය කිමිදුම් සංචාරකයන්ට අවශ්‍ය කිමිදුම් ප්‍රථිකාර සිදුකරනු ලබන නැවත සම්පීඩනය කිරීමේ කුටීර (Recompression Chamber) දෙකක් ලැබීමට නියමිත බවත්, එම පහසුකම් කොළඹ සහ දකුණු පළාතේ ස්ථාපිත කිරීම මඟින් සංචාරක කර්මාන්තයට විශාල වාසි ගෙන දීමට සමත්වනු ඇති බවත් පවසන ලදී.
රටේ ඇතිවන ඕනෑම හදිසි අවස්ථාවකදී මහජනතාවට සහන සැලසීම සඳහා විශේෂ පුහුණුව ලත් විශේෂ කණ්ඩායම් වෙනත් රටවල පවත්වාගෙන යන බවත්, ශ්‍රී ලංකාවේ එවැනි ඕනෑම හදිසි අවස්ථාවකදී හෝ ස්වභාවික ව්‍යසනයකදී මහජනතාවට සහන සැලසීම සඳහා ඇති වෘත්තීය පුහුණුවක් ලත් එකම පිරිස් බලය ත්‍රිවිධ හමුදාව බවත්, එම නිසා යුද්ධයක් නොමැති පසුබිමක වුවද ත්‍රිවිධ හමුදාවේ පිරිස් බලය නිසි ලෙස පවත්වා ගැනීම හා අවශ්‍ය පහසුකම් ලබාදීම අවශ්‍ය බවත් පැවසූ නාවික හමුදාධිපති, ශ්‍රී ලංකාව ඉදිරියේදී සංවර්ධිත රටක් බවට පරිවර්ථනය වීමට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා බල ඇණිය, පිරිස් බලය සහ තාක්ෂණය වෙනස් විය යුතු ආකාරය පිළිබඳව විද්‍යානුකූල ක්‍රමවේදයකට අනුව සකස් කළ උපායමාර්ගික සැලැස්ම 2030 නාවික හමුදාව විසින් ක්‍රියාවට නංවා ඇති බවත්, එමඟින් නාවික හමුදාවේ පිරිස් බලය අවශ්‍ය මට්ටමට පවත්වාගැනීම අපේක්ෂිත බවත් පවසන ලදී.
මෙලෙස නාවික හමුදාව සීඝ්‍ර වර්ධනයක් අත්පත්කර ගනිමින් තිබෙන පසු බිමක නාවික හමුදා සාමාජිකයන් ආර්ථික අපහසුතාවයන්ගෙන් මිදීම සඳහා නීතියානුකූල නොවන ක්‍රමවේද අනුගමනය නොකර, නාවික හමුදා සුභසාධන අංශය සහ සේවා වනිතා ඒකකය මඟින් ලබාදී ඇති විවිධ සුභසාධන වැඩසටහන් මඟින් අවශ්‍ය සහන ලබාගැනීම සිදුකළ යුතු බවත්, නාවික හමුදා පුද්ගලයන් වෙනුවෙන් ඉදිරියේදී නැගෙනහිර, බටහිර සහ දකුණු විධානයන් තුළ පුළුල් කෙරෙන විවාහක නිවාස පහසුකම් තුළින් නාවික හමුදා සාමාජිකයන්ට ප්‍රථිලාභ රැසක් හිමිවන බවත්, ඉදිරියේදී නාවික පුද්ගලයින් හට නිවාස ලබාදීමේ නව ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කරන බවත්, භාහිර පාර්ශ්වයන්ගේ බලපෑමට හසුවී විනය විරෝධී කටයුතු සිදු කිරීමෙන් වැලකී නාවික හමුදාවේ කාර්යභාරය ඉටුකිරීම සඳහා සෑම නාවික හමුදා පුද්ගලයෙකුගේම කැපවීම නාවික හමුදාව අපේක්ෂා කරන බව පැවසූ නාවික හමුදාධිපති. තවද, විශේෂයෙන් රටේ සමුද්‍රීය සංචාරක කර්මාන්තයේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකියාවක් පවතින බැවින්, නාවික හමුදාව ඒ වෙනුවෙන් සිදුකරන කාර්යභාරය තුළින් ඉදිරියේදී විශ්‍රාම ගැනීමෙන් පසුව වුවද නාවික හමුදා පුද්ගලයන් හට එම ක්ෂේත්රයේ රැකියා සිදු කිරීමට හැකියාව පවතින බවද නාවික හමුදාධිපති විසින් සිය දේශනයේදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.
මෙම නිල සංචාරයේදී, නාවික හමුදාධිපති විසින් නාවික තඨාකාංගණයේ සංවර්ධන හා සුභසාධන ව්‍යාපෘති නිරීක්ෂණය කර එම ව්‍යාපෘති කඩිනමින් සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීමට කටයුතු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මූලස්ථානය සහ නැගෙනහිර නාවික විධානය නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින්, පුහුණු වන නිලධාරීන් සහ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.