නීල කාබන් පරිසර පද්ධති සහ ජෛව විවිධත්වය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් මන්නාරමේදී සාර්ථකව පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව පරිසර අමාත්‍යාංශය හා එක්ව සංවිධානය කරන ලද නීල කාබන් පරිසර පද්ධති සහ මන්නාරම ප්‍රදේශයේ ජෛව විවිධත්ව පිළිබඳව නාවික පුද්ගලයන් දැනුවත් කිරීමේ දෙදින පුහුණු වැඩමුලුවක් වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේදී 2024 ඔක්තෝබර් මස 25 සහ 26 දිනයන්හිදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් හා මඟපෙන්වීම මත, සංවිධානය කරන ලද මෙම දැනුවත් කිරීමේ වැඩසටහන මඟින් නීල කාබන් පරිසර පද්ධති සහ ජෛව විවිධත්වය අවබෝධ කර ගැනීම, විශේෂයෙන්ම මන්නාරම් ප්‍රදේශයේ පරිසර පද්ධතිවල වැදගත්කම ගවේෂණය කිරීම, කඩොලාන වෘක්ෂලතා ප්‍රායෝගිකව හඳුනාගැනීම, කඩොලාන සංරක්ෂණය සඳහා නීතිමය රාමුව, මුහුදු තෘණ වර්ග සහ ලුණු වගුරුවල වැදගත්කම හා කඩොලාන ප්‍රතිස්ථාපන මාර්ගෝපදේශ යන කරුණු සම්බන්ධයෙන් වැඩමුළුව සඳහා සහභාගී වූ නාවික පුද්ගලයින් දැනුවත් කිරීමෙන් අනතුරුව මෝදරගම් ආරුව ප්‍රදේශයේ කඩොලාන පරිසර පද්ධති හඳුනාගැනීම සඳහා ක්ෂේත්‍ර චාරිකාවක ද නිරත වීමට කටයුතු කෙරිණි.
මෙම වැඩමුළුවේදී ලබා ගන්නා ලද දැනුම සහ කුසලතා යොදාගනිමින් වටිනා සමුද්‍ර සම්පත් සංරක්ෂණයට ශ්‍රී ලංකා නාවික හමුදාව ලබාදෙන දායකත්වය මනා අවබෝධයකින් යුතුව තවදුරටත් ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා නාවික හමුදාව රාජ්‍ය ආයතන හා එක්ව කටයුතු කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීමත් අපේක්ෂා කෙරේ.
තවද, මෙම වැඩමුළුව සඳහා කඩොලාන සංරක්ෂණය පිළිබඳ ජාතික විද්වත් කමිටුව නියෝජනය කරමින් ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි හා කඩොලාන විශේෂඥ ආචාර්ය මනෝජ් ප්‍රසන්න ඇතුළු ගෞරවනීය ප්රවීණයන්ගේ සම්පත් දායකත්වය ලබාදුන් අතර, වැඩමුළුව සඳහා වයඹ නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු මංජුල හේවා බැට්ටගේ, එම විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී විය.