නාවික හමුදාධිපති වැලිසර නාවික සංකීර්ණයේ නිල සංචාරයක නිරත වෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2024 ඔක්තෝබර් මස 25 වන දින වැලිසර නාවික සංකීර්ණයේ නිල සංචාරයක නිරත වෙමින්, එම නාවික සංකීර්ණයේ මෙහෙයුම් කටයුතු, සංවර්ධන සහ සුභසාධන ව්‍යාපෘති නිරීක්ෂණය කර, නාවික හමුදාවේ කාර්යය භාරය සම්බන්ධයෙන් වැලිසර නාවික සංකීර්ණයේ නිලධාරීන් සහ නාවිකයන් දැනුවත් කිරීම සිදුකෙරිණි.
එහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, රට දුෂ්කර කාල වකවානුවක් පසු කරමින් ක්‍රමයෙන් යාථාතත්වයට පත්වෙමින් තිබෙන බවත්, ඇති වූ ආර්ථික දුෂ්කරතා ඉදිරියේදී ක්‍රමයෙන් යථාතත්වයට පත්වනු ඇති බවත් පවසන ලදී. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, පැවති දුෂ්කරතා හමුවේ පුහුණු කටයුතු වෙනුවෙන් වෙන් කළ ප්‍රථිපාදන සීමාවූ බවත්, ඉදිරියේදී ඒ සඳහා ප්‍රථිපාදන වෙන් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත්, තවදුරටත් පුද්ගලික ආර්ථික කටයුතු නිසි කළමණාකරනයකින් යුතුව පවත්නා ආර්ථික තත්වයට අනුගත වෙමින් පවත්වාගෙන යෑම සෑම නාවික හමුදා පුද්ගලයෙකු වෙතින්ම අපේක්ෂා කරන බවත් අවධාරණය කෙරිණි.
විශේෂයෙන් රටේ සමුද්‍රීය සංචාරක කර්මාන්තයේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකියාවක් පවතින බැවින්, නාවික හමුදාව ඒ වෙනුවෙන් සිදුකරන කාර්යභාරය තුළින් ඉදිරියේදී විශ්‍රාම ගැනීමෙන් පසුව වුවද නාවික හමුදා පුද්ගලයන් හට එම ක්ෂේත්රයේ රැකියා සිදු කිරීමට හැකියාව පවතින බව පැවසූ නාවික හමුදාධිපති, කුමන ආර්ථික අපහසුතාවයක් හමුවේ වුවද සාගර කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් අඛණ්ඩව නාවික හමුදාව මෙහෙයුම් සිදුකරන බැවින්, සාගරය ඔස්සේ සිදු කෙරෙණ මත්ද්‍රව්‍ය ජාවරම, නීති විරෝධී ධිවර කටයුතු ඇතුලු නීති විරෝධී කටයුතු විශාල වශයෙන් පාලනය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්වී ඇති බවත්, නාවික හමුදාව වෙතින් අපේක්ෂිත කාර්යභාරය උපරිම ශක්ති ප්‍රමණයෙන් ඉටු කිරීම සඳහා සෑම නාවික හමුදා පුද්ගලයෙකුගේම කැපවීම අවශ්‍ය බවත් පවසන ලදී.
රටේ ඇතිවන ඕනෑම හදිසි අවස්ථාවකදී මහජනතාවට සහන සැලසීම සඳහා විශේෂ පුහුණුව ලත් විශේෂ කණ්ඩායම් වෙනත් රටවල පවත්වාගෙන යන බවත්, ශ්‍රී ලංකාවේ එවැනි ඕනෑම හදිසි අවස්ථාවකදී හෝ ස්වභාවික ව්‍යසනයකදී මහජනතාවට සහන සැලසීම සඳහා ඇති වෘත්තීය පුහුණුවක් ලත් එකම පිරිස් බලය ත්‍රිවිධ හමුදාව බවත්, එම නිසා යුද්ධයක් නොමැති පසුබිමක වුවද ත්‍රිවිධ හමුදාවේ පිරිස් බලය නිසි ලෙස පවත්වා ගැනීම හා අවශ්‍ය පහසුකම් ලබාදීම අවශ්‍ය බවත් පැවසූ නාවික හමුදාධිපති, ශ්‍රී ලංකාව ඉදිරියේදී සංවර්ධිත රටක් බවට පරිවර්ථනය වීමට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා බල ඇණිය, පිරිස් බලය සහ තාක්ෂණය වෙනස් විය යුතු ආකාරය පිළිබඳව විද්‍යානුකූල ක්‍රමවේදයකට අනුව සකස් කළ උපායමාර්ගික සැලැස්ම 2030 නාවික හමුදාව විසින් ක්‍රියාවට නංවා ඇති බවත්, එමඟින් නාවික හමුදාවේ පිරිස් බලය අවශ්‍ය මට්ටමට පවත්වාගැනීම අපේක්ෂිත බවත් පවසන ලදී.
ශ්‍රී ලංකා නාවික හමුදාව දේශිය ජලතීරයෙන් ඔබ්බට ඉන්දියානු සාගරය ඔස්සේ ජාත්‍යන්තර මුහුද දක්වා මෙහෙයුම් සිදුකළ හැකි නාවික හමුදාවක් බවට වර්ධනය වී ඇති බවත්, නාවික හමුදාවේ රාජ්‍යතාන්ත්‍රික භූමිකාව ඉතාමත් උසස් මට්ටමෙන් පවත්වාගෙන යමින් කාලාපීය හා කාලාපීය නොවන නාවික හමුදා සහ සමුද්‍රීය සන්ධාන සමඟ සහයෝගීත්වයෙන් යුතුව කටයුතු කරන බව පැවසූ නාවික හමුදාධිපති, සාගර කලාපයේ නීතියානුකූල භාවිතය ප්‍රචලිත කිරීම, නිදහස් මුහුදු ගමනාගමනය තහවුරු කිරීම සහ සෙවීම් සහ මුදවා ගැනීම් මෙහෙයුම් සඳහා නාවික හමුදාව සිදුකරන විශේෂ දායකත්වය ජාත්‍යන්තරයේ විශාල ඇගයීමකට ලක්වී ඇති බවත්, ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව ඒකාබද්ධ සමුද්‍රීය බලකාය සමඟ පසුගිය වර්ෂයේදී සන්ධාන ගතවී, එම බලකායේ 154 වන කාර්ය සාධක බලකාය වෙත එළඹෙන වසරේදී අණදීමට නියමිත වීම මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත සහ ශ්‍රී ලංකාව වෙත විශාල කීර්තියක් ජාත්‍යන්තරය වෙතින් ගෙනදීමට නාවික හමුදාව සමත්වී ඇති බවත් පවසන ලදී.
නාවික හමුදාවේ මෙම ජාත්‍යන්තර සබඳතා හේතුවෙන් ඉදිරියේදී නාවික හමුදාවේ නෞකා බල ඇණිය තවදුරටත් පුළුල් කරමින් ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාවක් ලැබීමට නියමිත බවත්, ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය මඟින් සිදුකරනු ලබන මෙහෙයුම් කටයුතු ද ඉදිරියේදී තවදුරටත් පුළුල්වී ජාතික ආර්ථිකයට ශක්තියක් වනු ඇති බවත්, ඉදිරියේදී ජාත්‍යන්තර සහයෝගය මත ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත දේශිය හා විදේශිය කිමිදුම් සංචාරකයන්ට අවශ්‍ය කිමිදුම් ප්‍රථිකාර සිදුකරනු ලබන නැවත සම්පීඩනය කිරීමේ කුටීර (Recompression Chamber) දෙකක් ලැබීමට නියමිත බවත්, එම පහසුකම් කොළඹ සහ දකුණු පළාතේ ස්ථාපිත කිරීම මඟින් සංචාරක කර්මාන්තයට විශාල වාසි ගෙන දීමට සමත්වනු ඇති බවත් බවසන ලදී.
මෙලෙස නාවික හමුදාව සිඝ්‍ර වර්ධනයක් අතපත්කර ගනිමින් තිබෙන පසු බිමක නාවික හමුදා සාමාජිකයන් ආර්ථික අපහසුතාවයන්ගෙන් මිදීම සඳහා නීතියානුකූල නොවන ක්‍රමවේද අනුගමනය නොකර, නාවික හමුදා සුභසාධන අංශය සහ සේවා වනිතා ඒකකය මඟින් ලබාදී ඇති විවිධ සුභසාධන වැඩසටහන් මඟින් අවශ්‍ය සහන ලබාගැනීම සිදුකළ යුතු බවත්, නාවික හමුදා පුද්ගලයන් වෙනුවෙන් ඉදිරියේදී නැගෙනහිර, බටහිර සහ දකුණු විධානයන් තුළ පුළුල් කෙරෙන විවාහක නිවාස පහසුකම් තුළින් නාවික හමුදා සාමාජිකයන්ට ප්‍රථිලාභ රැසක් හිමිවන බවත්, භාහිර පාර්ශ්වයන්ගේ බලපෑමට හසුවී විනය විරෝධී කටයුතු සිදු කිරීමෙන් වැලකී නාවික හමුදාවේ කාර්යභාරය ඉටුකිරීම සඳහා සෑම නාවික හමුදා පුද්ගලයෙකුගේම කැපවීම නාවික හමුදාව අපේක්ෂා කරන බවත් නාවික හමුදාධිපති විසින් සිය දේශනයේදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.
මෙම නිල සංචාරයේදී, නාවික හමුදාධිපති විසින් වැලිසර නාවික පරිශ්‍රයේ සංවර්ධන හා සුභසාධන ව්‍යාපෘති නිරීක්ෂණය කර එම ව්‍යාපෘති කඩිනමින් සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීමට කටයුතු කෙරිණි. එමෙන්ම, මෙම සංචාරයේදී නාවික හමුදා සංගීත අංශයේ පුහුණු කටයුතු සහ පහසුකම්, නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගණයේ මෙහෙයුම් කටයුතු සහ වැලිසර නාවික මහ රෝහලේ කටයුතු නිරීක්ෂණය කර එම කටයුතු වඩාත් උසස් අන්දමින් පවත්වා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදීම නාවික හමුදාධිපති විසින් සිදු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මූලස්ථානය සහ බටහිර නාවික විධානය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.