ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 2024 වාර්ෂික පුහුණු කඳවුරේ අංශ පිරික්සුම නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් වැලිසර දී
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 2024 වාර්ෂික පුහුණු කඳවුරේ අංශ පිරික්සුම සහ ආචාර පෙළපාලිය 2024 ඔක්තෝබර් මස 24 වන දින වැලිසර, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී සාර්ථකව පැවැත්වුණු අතර, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ලශාන්ත් එන් හේවාවිතාරණ ගේ සහ ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරි කොමදෝරු සුසන්ත ධර්මසිරි ගේ ආරාධනයෙන් එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.
ස්වේච්ඡා නාවික හමුදාවට අයත් නාවික හමුදා පුද්ගලයන්ගේ වෘත්තීමය හැකියාව සහ දැනුම වර්ධනය කිරීම උදෙසා පවත්වනු ලබන වාර්ෂික පුහුණු කඳවුර සහ අංශ පිරික්ෂුම, ස්වේච්ඡා නාවික හමුදාවට අනන්‍යවූ සාම්ප්‍රදායික අංගයක් වන අතර, 2024 ඔක්තෝබර් මස 04 වන දින ආරම්භ කෙරුණු මෙවර පුහුණු කඳවුර සඳහා නිලධාරීන් 45 දෙනෙක් සහ ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නාවිකයන් 408 දෙනෙකු සහභාගී විය.
අද දින (2024 ඔක්තෝබර් මස 24) උදෑසන ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ලශාන්ත් එන් හේවාවිතාරණ සහ ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරි කොමදෝරු සුසන්ත ධර්මසිරි විසින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීම සිදුකෙරිණි. අනතුරුව, නාවික හමුදාධිපති වෙත ප්‍රභූ සම්මාන උත්තමාචාර පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති ගේ අංශ පිරික්ෂුම සිදුකෙරිණි.
සති තුනක කාලයක් පුරා පැවති මෙම පුහුණු කඳවුර තුලදී නාවික හමුදාවේ කාර්ය භාරය ඉටුකිරීම සඳහා අවශ්‍ය න්‍යායික හා ප්‍රායෝගික දැනුම ලබාදීම ඇතුළු පුහුණු වැඩසටහන් සාර්ථකව සිදු කෙරුණු අතර, අද දින (2024 ඔක්තෝබර් මස 24) නාවික හමුදාධිපති ගේ අංශ පිරික්ෂුම සහ ඉන් පසුව පැවති ආචාර පෙළපාලිය හා විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශනයෙන් අනතුරුව, 2024 වර්ෂයේ වාර්ෂික පුහුණු කඳවුර සාර්ථකව නිමාවට පත්විය.
එහිදි අදහස් දැක් වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, 2024 වර්ෂයේ ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුර අවසානයේ පැවැත්වෙන අංශ පිරික්ෂුම සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට ලැබීම භාග්‍යක් කොට සලකන බව පවසන ලදි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ නාවික හමුදාධිපති, ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුර සහ අංශ පිරික්ෂුම දීර්ඝ ඉතිහාසයක් සහිත ස්වේච්ඡා නාවික හමුදාවටම අනන්‍ය සම්ප්රදායක් බවත්, නිලධාරින් 24 ක් හා නාවිකයින් 121 දෙනෙකුගෙන් ආරම්භ වූ ස්වේච්ඡා නාවික හමුදාව, ජාතික ආරක්ෂාව හා සංවර්ධන අවශ්‍යතාවයන්ට සමගාමීව මේ වන විට නිලධාරීන් 383 ක් සහ නාවිකයන් 10353 කින් සැදුම්ලත් පුළුල් පිරිස් බලයකින් යුතුව වර්ධනය වී නාවික හමුදාවේ කාර්ය භාරය ඉටු කිරීම සඳහා විවිධ ක්ෂෙත්රයන් ඔස්සේ වෘත්තීය දායකත්වය ලබා දෙන බවත් පවසන ලදී.
මව්බිමේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් සහ ජාතික සංවර්ධනය වෙනුවෙන් ස්වෙච්ඡා නාවික හමුදාව ආරම්භයේ සිට මේ දක්වා සිදුකල දායකත්වය අගයමින් පසුගිය 2023 වර්ෂයේදී ස්වෙච්ඡා නාවික හමුදාව වෙත ජනාධිපති වර්ණ ප්‍රධානය කිරීම ස්වෙච්ඡා නාවික හමුදාව පැමිණි දීර්ඝ ගමන් මඟෙහි විශේෂ සන්දිස්තානයක් වන බව පැවසූ නාවික හමුදාධිපති, ක්‍රීඩා ජයග්‍රහණ දිනා දෙමින් නාවික හමුදාවටත් මව්බිමටත් කීර්තියක් ගෙන දීමට ස්වේච්ඡා නාවික හමුදා සාමාජිකයන් සිදුකරන දායකත්වය මෙන්ම, ස්වෙච්ඡා නාවික හමුදාව වෙත අනුයුක්තව විවිධ වෘත්තීන් යටතේ නාවික හමුදාව වෙත ලබාදෙන තාක්ෂණික හා ශිල්පීය දායකත්වය ඇගයීමටද එහිදී නාවික හමුදාධිපති විසින් කටයුතු කෙරිණි.
එමෙන්ම, ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පරිවර්තනය වීමට සමඟාමීව, ශ්‍රී ලංකා නාවික හමුදාව ඉදිරියේදී වෙනස්විය යුතු ආකාරය පිලිබඳ විද්‍යානුකූල ක්‍රමවේදයකට අනුව සකස් කල උපාය මාර්ගික සැලැස්ම 2030 ක්‍රියාවට නැංවීමේදී, නාවික හමුදාවේ පිරිස් බලය අවශ්‍ය පරිමාණයට පවත්වාගැනීම, නව තාක්ෂණය භාවිතය හා අනුගත වීම සහ හැකියාවන් වර්ධනය කිරීම සඳහා ස්වෙච්චා නාවික හමුදාවේද දායකත්වය හා කැපවීම නාවික හමුදාව එකසේ අපේක්ෂා කරන බව, එහිදී නාවික හමුදාධිපති විසින් වැඩිදුරටත් අවධාරණය කෙරිණි.
නාවික හමුදාවේ කාර්යභාරය කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස ඉටු කිරීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව හා අවබෝධය වැඩි දියුණු කර ගනිමින් විනය ගරුක හා කාර්යක්ෂම නාවික හමුදා පුද්ගලයෙකු බිහි කිරීමට මෙම වාර්ෂික පුහුණු කඳවුර මහඟු පිටුවහලක් වනු ඇති බව පැවසූ නාවික හමුදාධිපති, ස්වේච්ඡා නාවික හමුදාව ආරම්භයේ සිට මේ දක්වා පැමිණි දීර්ඝ ගමන් මඟෙහිදී, මාතෘ භූමියේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සහ රණක්ෂිතයට පත් වෙමින් කටයුතු කල සියළුම ස්වේච්ඡා නාවික හමුදා පුද්ගලයින් ගෞරවයෙන් සිහිපත් කර, ඔවුන්ගේ පවුල් වල සමීපතමයින් වෙතද සිය ප්‍රණාමය පුද කිරීමට එහිදි කටයුතු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කාංචන බානගොඩ ඇතුළු අධ්යක්ෂ ජෙනරාල්වරුන්, ධජ නිලධාරීන්, නාවික හමුදා මුලස්ථානයේ සහ බටහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ නිලධාරීන්, ස්වේච්ඡා නාවික හමුදාවේ හිටපු අණදෙන නිලධාරීන් ඇතුළු නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.