ඉන්දීය නාවික හමුදාවට අයත් “INS Kalpeni (T-75)” වේග ප්‍රහාරක යාත්‍රාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 ඔක්තෝබර් මස 19 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් “INS Kalpeni (T-75)” වේග ප්‍රහාරක යාත්‍රාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2024 ඔක්තෝබර් 21) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

මෙම වේග ප්‍රහාරක යාත්‍රාවේ අණදෙන නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් Jonathan Sunil S Kothari සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අතර නිල හමුවක් 2024 ඔක්තෝබර් මස 21 වන දින බටහිර නාවික විධාන මූලස්ථානයේදී පැවැත්වීමට කටයුතු කෙරුණු අතර, නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

එමෙන්ම, එම වේග ප්‍රහාරක යාත්‍රාව, දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ එහි නැව් මුළුව, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහාද ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට කටයුතු කළ අතර, එම වේග ප්‍රහාරක යාත්‍රාවේ මෙහෙයුම් ක්‍රියාකාරිත්වය පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පැවැත්වීමට කටයුතු කෙරිණි.