නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ ක්‍රියාන්විත සේවයේ යෙදී සිටියදී රණක්ෂිතයට පත් වීරෝධාර නාවික හමුදා පුද්ගලයින් වෙත උපහාර පිරිනමයි

නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයට අනුයුක්තව ක්‍රියාන්විත සේවයේ යෙදී සිටියදී රණක්‍ෂිතයට පත් වීරෝධාර නාවික හමුදා පුද්ගලයින් වෙත ප්‍රථම වතාවට උපහාර පිදීමේ උළෙලක්, 2024 ඔක්තෝබර් මස 19 වන දින ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණයේ, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහ මුලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී සාර්ථකව පැවැත්වුනු අතර, එම අවස්ථාව සඳහා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ අණදෙන නිලධාරි, කපිතාන් අතුල ජයවීරගේ ආරාධනයෙන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

දසක තුනකට (03) ආසන්න කාලයක් මව්බිම වෙලා පැවති ත්‍රස්තවාදය මෙරටින් මුලිනුපුටා දමා, ත්‍රස්තවාදයෙන් නිදහස් කරගැනීමේ මානුෂිය මෙහෙයුම විජයග්‍රහනයකින් අවසන් කිරීම සඳහා, ශ්‍රී ලංකා නාවික හමුදාව තීරණාත්මක දායකත්වයක් දක්වන ලද අතර, එලෙස මව්බිමේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සහ රණක්ෂිතයට පත්වෙමින් තම යුතුකම ඉටු කල, වීරෝධාර නාවික හමුදා පුද්ගලයින් සිදුකල අනභිබවනීය දායකත්වය සදානුස්මරණිය වේ.

ඒ අනුව, උතුරු නැගෙනහිර ඇතුළු සාගර කළාපයේ මුහුදු සංචරන කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීම වෙනුවෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරුණු සුවිශේෂි වගකීම ඉටුකිරීම සඳහා හතරවන වේගප්‍රහාරක යාත්‍රා සමූහය විසින් සිදුකල වීර වික්‍රමාන්විත ක්‍රියාන්විතයන් හමුවේ, ජීවිත පරිත්‍යාග කල සහ රණක්‍ෂිතයට පත් වීරෝධාර නාවික හමුදා පුද්ගලයින් වෙත උපහාර පිදීමේ අවස්ථාව සඳහා, ක්‍රීයාන්විතයේදී රණක්‍ෂිතයට පත්ව විශ්‍රාම ලබා සිටින එක් නිලධාරියෙකු (01) සහ නාවිකයින් හතලිස් එක් දෙනෙකු (41) සහභාගී වූහ.

එහිදී, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහ මුලස්ථානයේ ස්ථාපිත රණවිරු ස්මාරකය අභියස මල් කළඹක් තබා, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු විසින්, ක්‍රියාන්විතයේදී ජීවිත පරිත්‍යාග කල වීරෝධාර රණවිරුවන් වෙත උපහාර පුදකිරීමෙන් අනතුරුව, එම අවස්ථාව සඳහා සහභාගි වු ක්‍රියාන්විතයේදී රණක්‍ෂිතයට පත් නාවික හමුදා පුද්ගලයින් විසින් මානුෂිය මෙහෙයුමේදි ජිවිත පරිත්‍යාග කල හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ වීරෝධාර රණවිරුවන් වෙත උපහාර පුදදීම සිදුකෙරිණි.

මෙම උපහාර පුදකිරිමේ අවස්ථාවට සමගාමීව, එම අවස්ථාවට සහභාගිවු රණක්‍ෂිතයට පත් නාවික හමුදා පුද්ගලයින්ගේ සංග්‍රාමික අත්දැකීම් තරුණ නිලධාරීන් සහ නාවිකයින් සමඟ බෙදා ගැනීමේ සකච්ඡාමය වැඩසටහනක්, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී, වේග ප්‍රහාරක යත්‍රා සමූහයේ විරෝධාර සාමාජිකයින් විසින් සාර්ථකව ක්‍රියාන්විත සිදුකර නාවික හමුදාව වෙත ජයග්‍රහණ ගෙනදීම සඳහා; නිරන්තර පුහුණු අභ්‍යාස සිදු කිරීමෙන් ලද උසස් කායික හා මානසික යෝග්‍යතාවය, කණ්ඩායම් හැඟීමෙන් යුතුව කටයුතු කිරීම, අසීරු අවස්ථාවන්හීදි ක්‍ෂණිකව නිවැරදි තීරණ ගැනීම, නායකත්වය, දේශප්‍රේමීත්වය, උසස් විනය සහ සුවීශේෂි කැපවීම තුලින් ලද පන්නරයෙන්, වීර වික්‍රමාන්විත ක්‍රියාන්විත සිදුකිරීමට හැකිවීමත්, එමඟින් ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරුණු වගකීම උපරිම ශක්ති ප්‍රමාණයෙන් ඉටුකිරීමට හැකිවීමත් ඇතුළු වටිනා සංග්‍රාමික අත්දැකීම් සම්භාරයක් බෙදා ගැනීමට වත්මන් හතරවන වේගප්‍රහාරක යත්‍රා සමූහයේ නිලධාරීන් සහ නාවිකයන් හට මහඟු අවස්ථාවක්‍ උදාවිය.

තවද, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ දීර්ඝ ඉතිහාය තුල ප්‍රථම වරට සංවිධානය කෙරුණු මෙම විශේෂ උපහාර පුදකිරීමේ අවස්ථාව සඳහා, නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති රියර් අද්මිරාල් වරුණ ෆර්ඩිනැන්ඩස් ඇතුළු නැගෙනහිර නාවික විධානයේ සහ නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමුහයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.