දෙවන ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටු ප්‍රතිපත්ති මණ්ඩලය සහ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම - 2024 කොළඹ දී

යූරෝපා සංගම‍යේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන, දෙවන ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටු ප්‍රතිපත්ති මණ්ඩලය සහ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම - 2024 (2nd IORIS Steering Committee Policy Board and Working Groups Meeting -2024), අද දින (2024 ඔක්තෝබර් 15) කොළඹ කොට්යාර්ඩ් හෝටල් පරිශ්‍රයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

2024 ඔක්තෝබර් මස 15 සහ 16 දෙදින පැවැත්වෙන මෙම රැස්වීම සඳහා ඉන්දු ශාන්තිකර කලාපීය නාවික හමුදා ඇතුළු ඉන්දු ශාන්තිකර කලාපයේ සමුද්‍රීය නීතිය බලාත්මක කිරීමේ ආයතන, රාජ්‍යයන් හා සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයන්, නීතිවේදීන්, අධ්‍යක්ෂකවරුන්, තාක්ෂණික විශේෂඥයන් සහභාගීවන මෙම දෙවන ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටු ප්‍රතිපත්ති මණ්ඩලය සහ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීමේ සම සභාපතීත්වය, ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටුව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් උසුලනු ලබයි.

යුරෝපා සංගමයේ අරමුදල් මත CRIMARIO II ආයතනය විසින් ප්‍රවර්ධනය කරනු ලබන මෙම දෙවන ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටු ප්‍රතිපත්ති මණ්ඩලය සහ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීමේදී, ධීවර කර්මාන්තයේ තිරසාරත්වයට සහාය වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් තොරතුරු හුවමාරු කර ගැනීම, මුහුදේ සිදුවන හදිසි ආපදා හා සිදුවීම් කළමනාකරණය, සමුද්‍රීය නිරීක්ෂණ සඳහා අන්තර් නියෝජිතායතන සහයෝගීතාව වැඩි දියුණු කිරීම සහ ගෝලීය වෙළඳාම සඳහා වඩාත් ආරක්‍ෂිත සාගර කලාපයක් පවත්වාගැනීම පිලිබඳ පාර්ශවකරුවන් අතර පූර්ණ සැසි සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් මඟින් අදහස් හුවමාරු කරගැනීමට නියමිතව ඇත.

මෙම රැස්වීමේ සමාරම්භක අවස්ථාවේ අදහස් දැක්වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, දෙවන ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටු ප්‍රතිපත්ති මණ්ඩලය සහ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම - 2024 හි සම සභාපතිත්වය ශ්‍රී ලංකා නාවික හමුදාවට හිමිවීම මඟින් කලාපීය සමුද්‍රීය සහයෝගීතාවය හා සම්බන්ධතාවය, ඉන්දු ශාන්තිකර කලාපය ඔස්සේ වර්ධනය කරගැනීමට තීරණාත්මක අවස්තාවක් ගෙනදී ඇති බව අවධාරණය කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, නව අභියෝග සඳහා ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය ශක්තිමත් සහයෝගීත්වයක් ගොඩනැගීම සඳහා සමුද්‍රීය රාජ්‍යයන් අතර තොරතුරු හුවමාරු කර ගැනීමේ වැදගත්කම අවධාරණය කල නාවික හමුදාධිපති, සාගර කලාපයේ වැදගත් මුහුදු ගමන් මාර්ග සඳහා ආරක්ෂාව සැලසීම හා නිදහස් මුහුදු ගමනාගමනය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව තීරණාත්මක කාර්යයභාරයක් සිදුකරන බව පවසන ලදි. එකාබද්ධ සමුද්‍රීය බලකාය හා සන්දාන ගතවී ඒ වෙනුවෙන් කටයුතු කරන බව පැවසු නාවික හමුදාධිපති, එළඹෙන 2025 වර්ෂයේදී එකාබද්ධ සමුද්‍රීය බලකායේ 154වන කාර්යය සාධක බලකාය වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව අණදීමටද නියමිත බවත් පවසන ලදී. සාගර කලාපයේ ආරක්ෂාව සැලසීම තනි රාජ්‍යකට සිදුකල නොහැකි බැවින්, මෙවැනි රැස්වීම් මඟින් ඒ සඳහා සාමූහිකව කටයුතු කිරීම සඳහා ඉතා හොඳ අවස්ථාවක් සියලුම පාර්ශවකරුවන් හට උදාවන බවත් එහිදි වැඩිදුරටත් නාවික හමුදාධිපති විසින් පවසන ලදී.