නාවික ක්‍ෂෙත්‍ර පුහුණු අභ්‍යාසය “Marines Field Training Exercise Blue Whale - 2024” සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලකාය විසින් තෙවන (03) වරට සංවිධානය කරනු ලැබූ Marines Field Training Exercise Blue Whale - 2024 ක්‍ෂෙත්‍ර පුහුණු අභ්‍යාසය 2024 ඔක්තෝබර් මස 07 වන දින සිට 13 වන දින දක්වා වයඹ මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත වෙරළ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සාර්ථකව පැවැත්වුණු අතර, අභ්‍යාසයේ අවසන් දේශනය නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර, මැරීන් බලකා මූලස්ථානයේදී පැවැත්විණි.

මෙම පුහුණු අභ්‍යාසය තුළදී සතුරු ග්‍රහණයේ ඇති භූමියක් වෙත උපක්‍රමිකව මුහුදෙන් භට පිරිස් ඇතුලු කිරීම සඳහා භූ ජලතරණ අභ්‍යාසක් (Amphibious Operation) සිදුකරන ආකාරය පිළිබඳව ප්‍රායෝගිකව අභ්‍යාස කෙරුණු අතර, ඒ සඳහා ප්‍රථම වරට පාකිස්ථානය, මාලදිවයින සහ බංගලාදේශය නියෝජනය කරමින් නිරීක්‍ෂකයන් ඇතුළුව විදෙස් නාවික හමුදා සාමාජිකයන් විසිපස්දෙනෙකු (25) එක්විය. ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නාවික හමුදා දියත් විධානය, නාවික පාබල අංශය, මැරීන් බලකාය, විශේෂ යාත්‍රා බලඝණය, ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය, ගවේෂණාත්මක කාර්ය සාධක බලකාය සහ නාවික හමුදා වෛද්‍ය අංශයේ නාවික හමුදා පුද්ගලයන් එකසිය අනූපස් දෙනෙක් (195) මෙම අභ්‍යාසය සඳහා සහභාගී වූ අතර, ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති ගොඩබෑමේ නෞකාව, වෙරළබඩ මුර යාත්‍රා සහ RHIB යාත්‍රා මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ද මේ සඳහා එක්විය.

Marines Field Training Exercise Blue Whale - 2024 ක්‍ෂෙත්‍ර පුහුණු අභ්‍යාසය තුලදී සතුරාගේ ග්‍රහණයේ ඇති භූමියක් වෙත උපක්‍රමිකව මුහුදු මාර්ගයෙන් ඇතුලු වී එම භූමිය අත්පත්කර ගැනීම සඳහා තොරතුරු රැස් කිරීමේ අභ්‍යාස (Reconnaissance), දූපත් සහිත ජලාශ්‍රිත ප්‍රදේශ තුළ සිදු කෙරෙණ පරීක්‍ෂා කිරීමේ මේහෙයුම් (Riverine/ Search and Clear Operations), සතුරු භූමිය වෙත ආරක්‍ෂිතව මිතුරු හමුදා ඇතුල් කිරීම සඳහා භූ ජලතරණ ප්‍රහාර අභ්‍යාස (Amphibious Assault), මුහුදෙන් භට පිරිස් ආරක්‍ෂිතව ගොඩබිමට ඇතුලු කිරීම සඳහා මුහුදේ සිට හඳුනාගත් සතුරු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේ අභ්‍යාස (Naval Gun Fire Support - NGFS), ගුවනින් සංග්‍රාම භූමිය වෙත භට පිරිස් ඇතුලු කිරීමේ අභ්‍යාස (Air Infiltration by Rappelling), ගුවනින් තුවාල කරුවන් ඉවත් කිරීමේ අභ්‍යාස (CASEVAC) සහ සතුරු ග්‍රහණයෙන් මුදාගත් ප්‍රදේශ තුළ ජන ජීවිතය යථාතත්වයට පත් කිරීම සඳහා සිදු කරන ආරක්‍ෂක මෙහෙයුම් (Stability Operations) ඇතුළු පුහුණු අභ්‍යාස රැසක් සාර්ථකව සිදු කෙරිණි.

මෙම Marines Field Training Exercise Blue Whale - 2024 අභ්‍යාසය සාර්ථකව සිදු කිරීම තුළින්; භූ ජලතරණ මෙහෙයුම් පිළිබඳ උපායමාර්ගික ක්‍රමෝපායන් සම්බන්ධ දැනුම යාවත්කාලීන කිරීම, නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර මෙන්ම කලාපීය පාර්ශවකරුවන් අතර අන්තර් ක්‍රියාකාරිත්වය, සහයෝගීත්වය හා හවුල්කාරිත්වය වර්ධනය කිරීම, සංග්‍රාමික අත්දැකීම්, නව දැනුම සහ යහපත් භාවිතයන් හුවමාරු කර ගැනීම, පාර්ශවකරුවන්ගේ හැකියාවන් හඳුනාගැනීම තුළින් සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග සඳහා සාමූහිකව ප්‍රතිචාර දැක්වීම සහ ඒ සඳහා නාවික හමුදාවේ විශේෂ බලකා හා ඒකකයන්ගේ හැකියාවන් වර්ධනය කිරීම හා මෙහෙයුම් සූදානම වර්ධනය කිරීම නාවික හමුදාව අපේක්‍ෂා කෙරිණි.

තවද, මෙම පුහුණු අභ්‍යාසයේ අවසන් දේශන අවස්ථාව සඳහා; ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමදෝරු Mohammad Moniruzzaman, ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් Hassan Amir ඇතුළු අභ්‍යාසය සඳහා සහභාගි වු විදෙස් නාවික හමුදා සාමාජිකයින්, ධජ නිලධාරී නාවික දියත් විධානය කොමදෝරු සංජීව පෙරේරා, අධ්‍යක්‍ෂ මැරීන් කොමදෝරු රොහාන් දිසානායක, කොමදෝරු අධිකාරි සැපයුම් හා සේවා (නැ) කොමදෝරු කීර්ති රත්නායක, නාවික අණභාර නිලධාරී (ත්‍රීකුණාමලය දකුණ) හා ආඥාපති ශ්‍රී ලංකා නාවික නෞකා විදුර කපිතාන් සංජීව කොඩිකාර, වේග ප්‍රහාරක යාත්‍ර සමූහයේ අණදෙන නිලධාරි කපිතාන් අතුල ජයවීර, විශේෂ යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරි කපිතාන් මදුශංක විජේතුංග ඇතුළු මැරීන් බලකායේ සහ නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.