නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් 2024 ඔක්තෝබර් මස 11 වන දින පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය අද දින (2024 ඔක්තෝබර් 14) නාවික හමුදා මූලස්ථානයේදී, රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් වෙත නිල වශයෙන් ප්‍රදානය කර සිය සුභපැතුම් පිරිනැමීම සිදුකෙරිණි.

මහනුවර, ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් නිශාන්ත පීරිස්, 1990 වර්ෂයේදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලීය 08 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් වී ඇත. ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයෙන් මූලික පුහුණුව සාර්ථකව සම්පූර්ණ කර, 1992 වර්ෂයේ උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන ඔහු, උප ලුතිනන් තාක්‍ෂණික පාඨමාලාව 1995 වර්ෂයේදී ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේදී සාර්ථකව හදාරා, අවි පිළිබඳ දීර්ඝ පාඨමාලාව ඉන්දීය නාවික නෞකා ද්‍රෝණචර්යා පුහුණු පාසල වෙතින් 2001 වර්ෂයේදී හදාරා ඇත. සපුගස්කන්ද අරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් 2010 වර්ෂයේදී මාණ්ඩලික පාඨමාලාව සම්පූර්ණ කරන රියර් අද්මිරාල් නිශාන්ත පීරිස්, බංගලාදේශයේ ජාතික ආරක්‍ෂක විද්‍යායතනයෙන් ජාතික ආරක්‍ෂක පාඨමාලාව 2020 වර්ෂයේදී සම්පූර්ණ කර ඇත. එමෙන්ම, ආරක්‍ෂක අධ්‍යනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය කැළණිය විශ්ව විද්‍යාලය වෙතින් සහ ආරක්‍ෂාව සහ සංවර්ධනය පිළිබඳ සමාජ විද්‍යා ශාස්ත්‍රපති උපාධිය බංගලාදේශයේ ඩකා නුවර පිහිටි වෘත්තීයවේදීන් සඳහා වූ විශ්ව විද්‍යාලයෙන් ලබා, සිය වෘත්තීය ජීවිතයේ ක්‍රමාණුකූලව උසස් වීම් ලබන ඔහු, 2022 වර්ෂයේ නොවැම්බර් මස 13 වන දින රියර් අද්මිරාල් නිලයට උසස් වී ඇත.

සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ නිලතල රාශියක් දරා ඇති රියර් අද්මිරාල් නිශාන්ත පීරිස්, වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ ආයතනයන්හි අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදු කොට ඇත. තවද, ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරී (බඳවා ගැනීම්), නියෝජ්‍ය පුහුණු විධායක හා කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලා සම්බන්ධීකාරක, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පුහුණු කණ්ඩායම් ප්‍රධානී, අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්, අධ්‍යක්‍ෂ නාවික විශේෂ බලකා, අධ්‍යක්‍ෂ නාවික විදේශ සබඳතා, අධ්‍යක්‍ෂ නාවික සමුද්‍රීය අධීක්‍ෂණ, නියෝජ්‍ය ආඥාපති දකුණු නාවික පෙදෙස සහ ආඥාපති වයඹ නාවික පෙදෙස වැනි ප්‍රමුඛ නිලතල දරා ඇති කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.

තවද, රියර් අද්මිරාල් නිශාන්ත පීරිස්, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් ලෙස එම ධූරයෙහි කටයුතු සිදුකරන අතරතුර, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධූරයෙහි රාජකාරීන් ඉදිරියට සිදුකරනු ඇත.