මූලික අනුගතවීමේ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කල නිලධාරීන් 13 ක් නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යයි

මූලික අනුගතවීමේ පාඨමාලාව (වෛද්‍ය) 02/2024, සාර්ථකව සම්පූර්ණ කල නිලධාරීන් දහතුන් දෙනෙකු (13) විසිරයාමේ උත්සවය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු රොහාන් ජෝෂප් ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 ඔක්තෝබර් 11) ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි.

ඒ අනුව, සාර්ථකව පුහුණුව අවසන් කළ ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යලයේ 35 වන බඳවා ගැනීමට අයත් වෛද්‍ය අංශයේ නිලධාරීන් දහතුන් දෙනෙකු (13) නාවික හා සාගරික විද්‍යා පීඨයේ සරඹ පිටියේදී, සිය දෙමව්පියන්, උපදේශකයින් සහ පුහුණුවන නිලධාරීන් ඉදිරියේ මෙලෙස අභිමානවත් අයුරින් විසිර යෑම සිදු කෙරිණි.

එහිදී මූලික අනුගතවීමේ පාඨමාලාව (වෛද්‍ය) 02/2024, පාඨමාලවේ දක්‍ෂතම නිලධාරියාට හිමි කුසලානය වැඩ බලන උප ලුතිනන් (වෛද්‍ය) ඩීබී ජයතිලක විසින්, මෙම විසිරයාමේ පෙළපාලිය සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණි නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු රොහාන් ජෝෂප් වෙතින් හිමිකර ගැනීමට සමත්විය.

එහිදී අදහස් දැක්වූ නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු රොහාන් ජෝෂප්, විසිරයන නිලධාරීන් හට පළමුව සිය සුභ පැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, පුහුණුව සාර්ථකව සිදු කිරීම සඳහා සිදු කළ කැපවීම තුළින් වෘත්තීය නිපුණතාවය වැඩිදියුණු කර ගනිමින් ඉදිරියේදී නාවික හමුදාවේ කාර්යභාරය කාර්යක්‍ෂමව සහ පලදායී ලෙස ඉටු කිරීමට අධිෂ්ඨානශීලීව කැපවීම නාවික හමුදාව අපේක්‍ෂා කරන බව අවධාරණය කරන ලදී. එමෙන්ම, මව්බිම වෙනුවෙන් සේවය කිරීම සඳහා සිය දරුවන් නාවික හමුදාවට බැඳීමට දිරිමත් කළ ඔවුන්ගේ දෙමව්පියන් වෙතද එහදී සිය කෘතඥතාවය පල කර සිටීමට කොමදෝරු රොහාන් ජෝෂප් විසින් කටයුතු කෙරිණි.

තවද, මෙම විසිරයාමේ පෙලපාලිය නාවික හමුදා සංගීත කණ්ඩායමේ විචිත්‍රවත් සංදර්ශනයකින්ද වර්ණවත් වූ අතර, එම විසිරයාමේ උත්සවය සඳහා නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් මෙන්ම විසිරයන නිලධාරීන්ගේ දෙමාපියන් ඇතුලු පිරිසක් සහභාගිවී සිටියහ.