නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් රවි රණසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් රවි රණසිංහ අද දින (2024 ඔක්තෝබර් 11) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ප්‍රමුඛ නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 55 වන උපන් දිනය යෙදී ඇති රියර් අද්මිරාල් රවි රණසිංහ වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද ‍කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් රියර් අද්මිරාල් රවි රණසිංහ වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.

1989 වසරේදී 19 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් රවි රණසිංහ, සිය වසර 35 කට අධික සේවා කාලය තුළ වැඩ බලන නියෝජ්‍ය අධිකාරී තටාකාංගනය (දකුණ), නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සාගරික ඉංජිනේරු, නියෝජ්‍ය අධිකාරී තටාකාංගනය (බටහිර), නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඉංජිනේරු (නව ඉදිකිරීම්), නියෝජ්‍ය අධිකාරී තටාකාංගනය (නැගෙනහිර), අධ්‍යක්‍ෂ ඉංජිනේරු සේවා, කොමදෝරු අධිකාරී තටාකාංගනය (උතුරු මැද), කොමදෝරු අධිකාරී තටාකාංගනය (උතුර), කොමදෝරු අධිකාරී තටාකාංගනය (බටහිර), අධ්‍යක්‍ෂ සාගරික ඉංජිනේරු, අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී යන ප්‍රමුඛ නිල තල දරමින් කටයුතු කර ඇති කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.