විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා ස්ථාපිත කාර්යසාධක බලකායේ මූලිකත්වයෙන් සමස්ත ලංකා චිත්‍ර සහ සජීවීකරණ විඩියෝ තරඟාවලියක්

“මත්ද්‍රව්‍යයෙන් තොර දීප්තිමත් අනාගතයක් සඳහා ළමුන් සහ තරුණ පරපුර බලගැන්වීම” යන උදාර තේමාව පෙරදැරිව, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා ස්ථාපිත කාර්යසාධක බලකායේ මූලිකත්වයෙන් පාසැල් දූ දරුවන් සහ නව යොවුන් ප්‍රජාව වෙනුවෙන් චිත්‍ර සහ සජීවීකරණ වීඩීයෝ තරඟාවලියක් 2024 වර්ෂයේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර, ඒ සඳහා නිර්මාණ භාර ගැනීම 2024 ඔක්තෝබර් මස 31 වන දින දක්වා සිදු කෙරේ.

ඒ අනුව, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා ස්ථාපිත කාර්යසාධක බලකායේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත, එම බලකායේ මූලිකත්වයෙන් සහ අධ්‍යාපන විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යාංශය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, කොළඹ ක්‍රමය සහ ඩයලොග් ඇක්සියාටා පුද්ගලික සමාගම හා එක්ව සංවිධානය කරනු ලබයි.

මෙම තරඟාවලියේ චිත්‍ර තරඟාවලිය, 6 ශ්‍රේණිය සිට 8 ශ්‍රේණිය දක්වා පළමු කාණ්ඩය ලෙස සහ 9 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා දෙවන කාණ්ඩය වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර, සජීවීකරණ වීඩියෝ තරඟාවලිය, 10 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා පළමු කාණ්ඩය ලෙස සහ වයස අවුරුදු 19 සිට 30 දක්වා දෙවන කාණ්ඩය වශයෙන් පැවැත්වේ. විත්‍ර සහ සජීවීකරණ විඩීයෝ තරඟාවලියේ පළමු හා දෙවන කාණ්ඩ සඳහා ජයග්‍රාහකයින් වෙත වටිනා මූල්‍ය ත්‍යාග සහ කුසලතා සහතික පත්‍ර පිරිනැමීමට කටයුතු සූදානම් කර ඇති අතර, විඩියෝ සජීවීකරණ තරඟාවලියේ වයස අවුරුදු 19 සිට 30 දක්වා වන දෙවන කාණ්ඩය සඳහා ජයග්‍රාහකයින් වෙත වටිනා ජංගම දුරකථන හිමිවේ.

සජීවීකරණ වීඩීයෝ තරඟාවලියේ පාසැල් ජයග්‍රාහකයින් වෙත ලැබෙන මූල්‍ය ත්‍යාග වටිනාකමින් සියයට පනහක (50%) ප්‍රතිශතයක් ජයග්‍රාහකයින් නියෝජනය කරනු ලබන පාසැල් වෙත ලබාදීමට කටයුතු කරණු ලබන බැවින්, මෙම තරඟාවලිය සඳහා පාසැල් දූ දරුවන් උනන්දු කරවීමෙන්, මත්ද්‍රව්‍යයෙන් තොර දීප්තිමත් අනාගතයක් සඳහා ළමුන් සහ තරුණ පරපුර බලගැන්වීම සිදු වනවා පමණක් නොව, පාසැල් වෙත කීර්තියක් සමඟින් මූල්‍ය ප්‍රථිලාභ හිමිකර ගැනීමටද අවස්ථාව උදාවේ.

තවද, තරඟ නීතිරීති සහ අයදුම්පත් nddcb.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගැනීමට හැකියාව ඇති අතර, තරඟාවලිය සඳහා නිර්මාණ භාර ගැනීම 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන්වේ.

(ශ්‍රී ලංකා නාවික හමුදාවේ සක්‍රීය සේවයේ නියුතු නාවික හමුදා පුද්ගලයින් හට මෙම තරඟාවලිය සඳහා අයදුම් කළ නොහැකි අතර, මේ සම්බන්ධයෙන් පවුල්වල සාමාජිකයින්, ඥාතීන්, හිතවතුන් සහ අසල්වැසියන් දැනුවත් කිරිමට කටුයුතු කරන්න)