ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුර 2024 ආරම්භ වෙයි

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 2024 වාර්ෂික පුහුණු කඳවුරේ සාමාරම්භක අවස්ථාව, ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරී කොමදෝරු සුසන්ත ධර්මසිරිගේ ආරාධනයෙන්, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ලෂාන්ත් එන් හේවාවිතාරණ ගේ ප්‍රධානත්වයෙන්, වැලිසර ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී 2024 ඔක්තෝබර් මස 04 වන දින සිදුකෙරිණි.

ස්වේච්ඡා නාවික හමුදාවට අයත් නිලධාරීන් සහ නාවිකයන්ගේ වෘත්තීමය හැකියාවන් සහ දැනුම වර්ධනය කිරීම ‍උදෙසා වාර්ෂිකව පැවැත්වෙන මෙම පුහුණු කඳවුර සඳහා මෙවර (2024) නිලධාරීන් 42 ක් සහ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 408 ක් ඇතුළුව ස්වේච්ඡා නාවික හමුදා පුද්ගලයන් 450 දෙනෙකු සහභාගී වේ.

එමෙන්ම, 2024 ඔක්තෝබර් මස 04 වන දින ආරම්භ වූ මෙම වාර්ෂික පුහුණු කඳවුර 2024 ඔක්තෝබර් මස 24 වන දින දක්වා පැවැත්වෙන අතර, එදින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් සිදුකරනු ලබන ස්වේච්ඡා නාවික හමුදාවේ අංශ පිරික්ෂුම සහ අනතුරුව පැවැත්වෙන ආචාර පෙළපාලියෙන් පසු වාර්ෂික පුහුණු කඳවුර නිමාවට පත්වීමට නියමිතව ඇත.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් එම්බීඑන්ඒ පේමරත්න ඇතුළු ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේ සහ ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයට අයත් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, වාර්ෂික පුහුණු කඳවුරට සහභාගී වන පුහුණුවන නිලධාරීන් සහ පුහුණුවන ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයන් සහභාගී වී සිටියහ.