නාවික හමුදාධිපති සිය ප්‍රථම නිල හමුවීම සඳහා ගරු ජනාධිපතිතුමා බැහැදකියි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද දින (2024 ඔක්තෝබර් 04) සිය ප්‍රථම නිල හමුවීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා බැහැදැකීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, හමුදාමය සම්ප්‍රදායන්ට අනුකූලව සිදු කෙ‍රුණු මෙම ප්‍රථම නිල හමුවීමේදී, ජාතික කර්තව්‍යන්හීදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වය උපරිම ශක්ති ප්‍රමාණයෙන් ලබා දීම ඇතුළු ජාතික ආරක්‍ෂාව හා සම්බන්ධ වැදගත් කරුණු පිළිබඳව නාවික හමුදාධිපති සහ ගරු ජනාධිපතිතුමා අතර එහිදී අදහස් හුවමාරු කර ගැනීම සිදු කෙරිණි.

තවද, මෙම ප්‍රථම නිල හමුවීම සංකේතවත් කරමින් නාවික හමුදාධිපති විසින් ගරු ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිරිණැමීම ද එහිදී සිදු කෙරිණි.