ඒකාබද්ධ සමුද්‍රීය බලකායේ 154 වන කාර්යසාධක බලකායේ අණදෙන නිලධාරී නිළ හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

බහරේනයේ ස්ථාපිත ලොව විශාලතම සමුද්‍රීය සන්ධානය ලෙස සැලකෙන, ඒකාබද්ධ සමුද්‍රීය බලකාය (Combined Maritime Force - CMF) යටතේ ක්‍රියාත්මක 154 වන ඒකාබද්ධ කාර්යසාධක බලකායේ වත්මන් අණදෙන නිලධාරී, කොමදෝරු Haytham Elsayed Khalil ඇතුළු නිලධාරීන් පිරිසක් අද දින (2024 ඔක්තෝබර් 02) නිළ හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවූ අතර, 2025 වර්ෂයේ ජනවාරි මස සිට මෙම 154 වන ඒකාබද්ධ කාර්යසාධක බලකායේ අණදීම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් භාර ගැනීමට නියමිතව ඇත.

ඒ අනුව, නාවික හමුදාධිපති විසින් කොමදෝරු Haytham Elsayed Khalil නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉදිරියේදී අණභාර ගැනීමට නියමිත ඒකාබද්ධ සමුද්‍රීය බලකාය (Combined Maritime Force - CMF) යටතේ ක්‍රියාත්මක 154 වන ඒකාබද්ධ කාර්යසාධක බලකායේ කාර්යභාරය ඇතුලු ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ අදහස් හුවමාරුවක් සිදු කෙරුණු අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

රාජ්‍යයන් 46 ක නාවික හමුදාවන් සහ සමුද්‍රීය පාර්ශවකරුවන්ගෙන් සමන්විතව බහරේන් රාජ්‍යයේ මූලස්ථානය සහිතව; කලාපීය සහයෝගීතාවය, මුහුදේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සහ මුහුදු මංකොල්ලකෑම් මැඩ පැවැත්වීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ලොව විශාලතම සමුද්‍රීය සන්ධානය ලෙස සැලකෙන මෙම ඒකාබද්ධ සමුද්‍රීය බලකායේ 39 වන සාමාජිකයා ලෙස ශ්‍රී ලංකාව 2023 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී සන්ධාන ගත විය. ඒ අනුව, ලොව වැදගත් මුහුදු ගමන් මාර්ග සහිත සාගර කලාපයේ නිත්‍යානුකූල භාවිතය ප්‍රවර්ධනය සඳහා සුරක්‍ෂිත සමුද්‍රීය පරිසරයක් නිර්මාණය කිරීමේ ඒකාබද්ධ මෙහෙයුම් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමුද්‍රීය ආරක්‍ෂක මෙහෙයුම් සඳහා සහභාගී වේ.

මෙම ඒකාබද්ධ සමුද්‍රීය බලකාය, ඒකාබද්ධ කාර්යසාධක බලකායන් පහක් (05) යටතේ (Combined Task Force) විවිධ සමුද්‍රීය කලාපයන් තුළ සමුද්‍රීය ආරක්‍ෂක මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, ඒකාබද්ධ කාර්යසාධක බලකා 150 (Combined Task Force 150 – CTF - 150) විසින් ඉන්දියන් සාගරයේ සහ Gulf of Oman යන මුහුදු කලාපයන්ගේ සමුද්‍රීය ආරක්‍ෂාව සහ ප්‍රතිත්‍රස්ත මෙහෙයුම් සිදු කරනු ලබන අතර, ඒකාබද්ධ කාර්යසාධක බලකා 151 (CTF - 151) විසින් විශේෂයෙන් ඉන්දියන් සාගරයේ සහ Gulf of Oman යන මුහුදු කලාපයන්ගේ මුහුදු මංකොල්ලකෑම් සඳහා ප්‍රතිචාර දැක්වීමේ මෙහෙයුම් සිදුකරනු ලබයි. කාර්යසාධක බලකා 152 (CTF - 152) විසින් Arabian Gulf මුහුදු කලාපයේත්, කාර්යසාධක බලකා 153 (CTF - 153) රතු මුහුද සහ Gulf of Aden මුහුදු කලාපයේත් සමුද්‍රීය ආරක්‍ෂක මෙහෙයුම් සිදුකරනු ලබන අතර, කාර්යසාධක බලකා 154 (CTF - 154) සමුද්‍රීය ආරක්‍ෂක පුහුණුවීම් සිදුකරනු ලබයි.

ලොව විශාලතම සමුද්‍රීය සන්ධානය ලෙස සැලකෙන එකාබද්ධ සමුද්‍රීය බලකාය සමඟ සන්ධාන ගතවී, එහි 154 වන කාර්යයසාධක බලකාය වෙත අණදීමට ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත අවස්ථාව උදාවීම, ශ්‍රී ලංකා නාවික හමුදාව වසර හැත්තෑ හතරක් (74) පුරා පැමිණි අභිමානවත් දීර්ඝ ගමන්මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත්වේ.

එමෙන්ම, සමුද්‍රීය දැනුවත්භාවය (Maritime awareness), සමුද්‍රීය නීතිය (Maritime law), සමුද්‍රීය කලාප තහනම් කිරීම (Maritime Interdiction), සමුද්‍රීය මුදවාගැනීම් හා සහාය ලබාදීම (Maritime rescue and assistance) සහ නායකත්ව සංවර්ධනය (Leadership development) ඇතුලු සමුද්‍රීය ආරක්‍ෂාව වැඩි දියුණු කිරීම සඳහා සාමාජික නාවික හමුදාවන්ගේ මෙහෙයුම් හැකියාවන් වර්ධනය කිරීමේ පුහුණු කටයුතු පිළිබඳ 154 වන කාර්යයසාධක බලකාය වෙත පැවරෙන වගකීම ඉටුකිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ඉදිරියේදී අවස්ථාව උදාවීම මඟින්, දේශිය ජල තීරයෙන් ඔබ්බට ඉන්දියානු සාගරය ඔස්සේ ජාත්‍යන්තර මුහුද දක්වා පුළුල් සාගරික වපසරියක මෙහෙයුම් සිදුකල හැකි නාවික හමුදාවක් බවට ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත විශාල ජාත්‍යන්තර පිළිගැනීමක් ගෙන දෙනවා පමණක් නොව, රටේ කීර්තිය ඉහළ නැංවීමටද මහඟු දායකත්වයක් ගෙන දෙනු ඇත.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉදිරියේදී අණභාර ගැනීමට නියමිත, 154 වන ඒකාබද්ධ කාර්යසාධක බලකායේ කාර්යභාරය සහ ඉදිරි කටයුතු පිළිබඳව එම කාර්යසාධක බලකායේ වත්මන් අණදෙන නිලධාරී, කොමදෝරු Haytham Elsayed Khalil, නියෝජ්‍ය අණදෙන නිලධාරී කොමාණ්ඩර් William Franklin Campbell සහ එහි සමුද්‍රීය ආරක්‍ෂක ප්‍රවර්ධන පුහුණු හා සැළසුම් නිලධාරී ලුතිනන් Mohamed Abdelrahman Mohamed Eldaltouny සමඟ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන්, නාවික හමුදා මූලස්ථානයේදී විශේෂ සාකච්ඡාවක් පැවත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිශාන්ත පීරිස්, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ඇතුළු නාවික හමුදා මූලස්ථානය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසික් සහභාගි වී සිටියහ.