ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 255 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 271 ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 255 වන බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් දෙසීය එකොලොස් දෙනෙකු (211) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් හැට දෙනෙකු (60) ඇතුළු ආධුනික නාවිකයින් දෙසිය හැත්තෑ එක් දෙනෙකු (271) සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2024 සැප්තැම්බර් මස 28 වන දින පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යාම සිදුකෙරිණි.

ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ආඥාපති, කපිතාන් රංග ද සොයිසා ගේ ආරාධනයෙන් මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් සහභාගී වූ අතර, මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ ආධුනික නාවිකයින් වෙත කුසලාන ප්‍රදානය කිරීම එහිදී ප්‍රධාන ආරාධිතයා විසින් සිදු කෙරිණි.

ඒ අනුව, 255 වන බඳවා ගැනීමේ විශිෂ්ඨතම ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි ජීවීඩීඑච් විජේරත්න විසින්ද, සියලුම විෂයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි පීඑච්එම්ඩීඑන් විජේරත්න විසින්ද, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ආධුනික නැවි ටීඑස්පී ද සිල්වා විසින්ද, දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි කේවීඑන් මදුහංසිනී විසින් සහ දක්‍ෂතම ඉලක්කකරුට හිමි කුසලානය ආධුනික නැවි යූඩබ්ජීපීඒ චන්ද්‍රරත්න විසින් හිමි කර ගන්නා ලද අතර, 255 වන ආධුනික බඳවා ගැනීමට අයත් දක්‍ෂතම අංශයට හිමි කුසලානය ‘දුටුගැමුණු’ අංශය හිමි කර ගන්නා ලදී.

මෙහිදී විසිර යන ආධුනික නාවිකයන් ඇමතූ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිශාන්ත පීරිස්, විසිර යන ආධුනික නාවිකයන් වෙත ප්‍රථමයෙන් සිය සුභාශිංෂණ පිරිනැමීම සිදුකෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, දශක තුනක් පුරා මෙරට පැවති යුදමය වාතාවරණය අවසන් වීමත් සමඟ, වෘත්තීමය නාවික හමුදාවක සුවිශේෂි අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමු කර ඇති බවත්, එහි විශේෂ කාර්යභාර්යක් ඉටු කිරීම සඳහා විසිර යන ආධුනික නාවිකයන් හට මින් ඉදිරියට රාජකාරීන් පැවරෙන බවත්, එවැනි ත්‍රස්තවාදී උවදුරක් බිහිවීමට ඉඩ නොතබා දේශය ආරක්‍ෂා කර ගැනීමටත්, එමඟින් රටේ සංවර්ධන ක්‍රියාවලියේ කොටස් කරුවන් වීම සඳහා වක්‍රව දායක වීමටත්, කාර්යශූර්ය විනය ගරුක නාවිකයෙකු ලෙස මවුබිමට විශිෂ්ඨ සේවයක් ලබා දීමට අධිෂ්ඨාන කරගත යුතු බවත් පවසන ලදී.

එමෙන්ම, දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, විශාල සාගර කලාපයක ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම, මත්ස්‍ය සම්පත ඇතුළු සියලු ජලජ සම්පත් ආරක්‍ෂා කිරීම, නාවික ගමනාගමනය සුරක්‍ෂිත කිරීම, ශ්‍රී ලංකාවට අයත් සෙවීම් හා මුදවා ගැනීමේ කලාපය තුළ අනතුරට පත් වන යාත්‍රා හා පුද්ගලයින් මුදවා ගැනීම වැනි රාජකාරීන් ඉටු කිරීම වැනි සංකීර්ණ රාජකාරීන් නාවික හමුදාව වෙත පැවරී ඇති බවත්, අනාගතයේදී විසිර යන ආධුනික නාවිකයන් වෙත පැවරෙන රාජකාරීන් නිසි ලෙස තමාගේ, තම පවුලේ සහ නාවික හමුදාවේ ගෞරවය ආරක්‍ෂා වන අයුරින් අභිමානවත්ව ඉටු කිරීමට කැපවිය යුතු බවත් අවධාරණය කෙරිණි.

අතීත රණවිරුවන් විසින් ජීවිත කැපකිරීමෙන් උදාකර දුන් සාමය ආරක්‍ෂා කිරීමටත්, සීඝ්‍ර වර්ධනයක් තුලින් දීප්තිමත් අනාගත යුග මෙහෙවරට උර දීම සඳහා තම ආදරණීය දරුවන් විසින් ගත් ඒ තීරණයට එකඟ වෙමින්, එය දිරි ගන්වමින් තම දූ පුතුන් නාවික හමුදාවට භාරදුන් දයාබර මවුපියන් වෙත නාවික හමුදාධිපති වෙනුවෙන් ප්‍රණාමය පුද කර සිටින බව පැවසූ රියර් අද්මිරාල් නිශාන්ත පීරිස්, විවිධ වූ අභියෝග මධ්‍යයේ වුවද පුහුණුවීම් කටයුතු ඉතා උසස් අන්දමින් සිදුකිරීම සඳහා දායකවූ සියලුම නාවික හමුදා පුද්ගලයින් ඇගයීමටත්, ඒ සඳහා විශේෂයෙන් කැපවූ ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ආඥාපති, පුහුණු විධායක ඇතුළු සියළුම නිලධාරීන්ටත්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ උපදේශකයින්ටත්, එහිදී විශේෂ ස්තූතිය පුද කිරීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, මෙම විසිරයෑමේ පෙළපාලිය විසිර ගිය ආධුනික නාවිකයන් සහභාගී වූ දර්ශනීය සරඹ සංදර්ශනයකින් සහ නාවික හමුදා තුර්යවාදක කණ්ඩායමේ හා සංස්කෘතික කණ්ඩායමේ විචිත්‍රවත් සංදර්ශනයකින් ද වර්ණවත් විය.

තවද, මෙම විසිරයෑමේ පෙළපාලිය සඳහා උතුරු මැද නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ජගත් කුමාර, උතුරු මැද නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු මංගල මුම්මුල්ලගේ, ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ, උතුරු මැද නාවික විධානයේ, යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ නිලධාරීන් හා නාවිකයින් මෙන්ම විසිර ගිය ආධුනික නාවිකයින්ගේ දෙමාපියන් පිරිසක් සහභාගී වී සිටියහ.