රාජකීය ලංකා නාවික හමුදාව පැවති වකවානුවේ ත්‍රීකුණාමලයේ සේවය කල බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා නිලධාරියෙකුගේ භෂ්මාවශේෂ නාවික හමුදා ගෞරව සහිතව ත්‍රීකුණාමලය මුහුදේ විසුරුවා හරී

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු කළ, 1999 වර්ෂයේදී අභාවප්‍රාප්ත වී ඇති ලුතිනන් Norman Schofield නිලධාරියාගේ සහ ඔහුගේ බිරිඳ Marian Schofield ගේ භෂ්මාවශේෂ, නිලධාරියාගේ අවසන් කැමැත්ත පරිදි නාවික හමුදා සාම්ප්‍රදායානුකූලව හා ගෞරව සහිතව ත්‍රීකුණාමලය නාවික තටාකාංගනයේ Ostenburg තුඩුව අසල මුහුදේ විසුරුවා හැරීම, 2024 සැප්තැම්බර් මස 27 වන දින උදෑසන එම නිලධාරියාගේ පවුලේ ඥාතීන් ගේ සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Darren Woods ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

මීට වසර විසි පහකට (25) පෙර අභාවප්‍රාප්ත, ලුතිනන් Norman Schofield නිලධාරියාගේ භෂ්මාවශේෂ ඔහුගේ අවසන් කැමැත්ත පරිදි, ත්‍රීකුණාමලයේදී මුහුදට විසුරුවා හැරීම, විවිධ දුෂ්කරතා හේතුවෙන් මඟහැරී ඇත. ඒ අනුව, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කර්නල් Darren Woods විසින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගෙන් සිදු කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව, අභාවප්‍රාප්ත, ලුතිනන් Norman Schofield නිලධාරියාගේ සහ ඔහුගේ බිරිඳගේ භෂ්මාවශේෂ ත්‍රීකුණාමලය නාවික තටාකාංගනයේ, ඔස්ටන්බර්ග් අසල මුහුදේ විසුරුවා හැරීමේ කටයුතු ශ්‍රී ලංකා නාවික තටාකාංගනය මඟින් සවිධානය කෙරිණි.

ලුතිනන් Norman Schofield නිලධාරියා, 1935 වර්ෂයේ අගෝස්තු මස බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට සංඥා අංශයේ නාවිකයෙකු වශයෙන් බැඳී ඇති අතර, දෙවන ලෝක යුද සමයේ 1947 ජූනි මස අධිකාරියට පත්වී ඇත. බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් විවිධ නෞකාවන් හා කඳවුරු වෙත අනුයුක්තව සේවය කිරීමෙන් අනතුරුව, 1956/1958 කාල සීමාවේදී ත්‍රීකුණාමලයේ HMS Highflyer නාවික හමුදා කඳවුරේ, වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු කර ඇත. ත්‍රීකුණාමලය නාවික කඳවුර 1957 වර්ෂයේ ශ්‍රී ලංකා රජය වෙත පවරා දෙන තෙක් එම කඳවුරට අනුයුක්තව ශ්‍රී ලංකාවේ සේවය කර ඇති එම නිලධාරියා ගේ අවසන් කැමැත්ත පරිදි, එම නිලධාරියාගේ සහ ඔහුගේ බිරිඳගේ භෂ්මාවශේෂ ඔහු වඩාත් ඇලුම් කළ ත්‍රීකුණාමලය නාවික තටාකාංගනයේ Ostenburg තුඩුව ආසන්නයේදී මෙලෙස මුහුදට විසුරුවා හැරීම නාවික හමුදා ගෞරව සහිතව සිදු කෙරිණි.

තවද, එම නිලධාරියාගේ සහ ඔහුගේ බිරිඳගේ භෂ්මාවශේෂ මුහුදට විසුරවා හැරීමේ අවස්ථාව සඳහා ඔවුන්ගේ ඥාතීන් දෙපලක් සහභාගී වී සිටි අතර, භෂ්මාවශේෂ විසුරුවා හැරීම නාවික හමුදා සාම්ප්‍රදායානුකූලව හා ගෞරව සහිතව සිදුකිරීම, ශ්‍රී ලංකා නාවික තටාකාංගනයේ අණදෙන නිලධාරී ඇතුළු නිලධාරීන්ගේ හා නාවිකයන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.