නාවික හමුදාව විසින් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ පුහුණු අභ්‍යාසයක් හම්බන්තොට වරායේදී සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ දකුණු නාවික විධාන රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික ඒකකය මඟින් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව හදසි අවස්ථාවකදී ගතයුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව පුහුණු අභ්‍යාසයක් 2024 සැප්තැම්බර් මස 26 වන දින හම්බන්තොට වරාය පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් හා මඟපෙන්වීම මත, දකුණු නාවික විධාන රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම පුහුණු අභ්‍යාසයේ මූලික අරමුණ වූයේ හම්බන්තොට වරාය තුළ එවන් ආපදාවකදී පළමු පෙල ප්‍රතිචාර දක්වන්නන්ගේ දැනුවත්භාවය සහ වෘත්තීය සූදානම ඉහළ නැංවීම වන අතර, මෙම පුහුණු අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ හම්බන්තොට වරාය ගිනි නිවීම් ඒකකය නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටියහ.

මෙහි න්‍යායික පුහුණු සැසිය තුළදී රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රවයන් අනාවරණය, හඳුනා ගැනීම, ආරක්‍ෂක ක්‍රමවේද සහ ගලවා ගැනීමේ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීම සිදු කෙරුණු අතර, එහි ප්‍රායෝගික සැසිය මඟින් හදිසි අවස්ථාවකදී අදාල ආරක්‍ෂිත උපාංග සහ උපකරණ නිසි ලෙස හැසිරවීම, පුද්ගලයින් ආරක්‍ෂිතව ඉවත් කිරීම, අන්තරාදායක රසායනික සංයෝගයන් ආරක්‍ෂිතව බැහැර කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳව ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කෙරිණි.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කොළඹ, ගාල්ල, හම්බන්තොට, ත්‍රීකුණාමලය සහ කන්කසන්තුරේ ඇතුළු සියලුම ප්‍රධාන වරායන්හි රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික ඒකක ස්ථාපිත කර ඇති අතර, මෙම ඒකකයන් සතු වෘත්තීයමය පළමු පෙල ප්‍රතිචාරදක්වන්නන් හා නවීන උපකරණ මඟින් වරාය පරිශ්‍රයන් සහ මුහුදු ප්‍රදේශය තුළ සිදුවන රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික හඳිසි අවස්ථාවන් කඩිනමින් නිවැරදිව කළමණාකරනය කිරීමට සූදානමින් සිටී.