නාවික හමුදාව මඟින් නවීකරණය කරන ලද “නෙඩුන්තාරකයි” මගී ප්‍රවාහන යාත්‍රාව මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි

යාපනයේ, ඩෙල්ෆ්ට් දූපත හා කුරිකට්ටුවාන් ජැටිය අතර මගී ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් යොදවා ඇති 'නෙඩුන්තාරකයි' නමැති මඟී ප්‍රවාහන යාත්‍රාව, නාවික හමුදාව මඟින් නවීකරණය කිරීමෙන් අනතුරුව, මෙහෙයුම් කටයුතු සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය වෙත භාරදීම 2024 සැප්තැම්බර් මස 19 වන දින ඩෙල්ෆ්ට් දූපතේ ජැටියේදී සිදු කෙරිණි.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙතින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීමෙන්, ‘නෙඩුන්තාරකයි‘ මගී ප්‍රවාහන යාත්‍රාවේ අලුත්වැඩියා සහ නවීකරණ කටයුතු ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ යාත්‍රා අලුත්වැඩියා අංගනයේදී සිදුකෙරිණි.

ඒ අනුව, එම අලුත්වැඩියා සහ නවීකරණ කටයුතු කඩිනමින් සම්පූර්ණ කිරීමෙන් පසු, මාර්ග සංවර්ධන අධිකාරිය වෙත භාරදීම, 2024 සැප්තැම්බර් මස 19 වන දින උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ ගේ හා උතුරු පළාත් ආණ්ඩුකාර ගරු පීඑස්එම් චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙලෙස ඩෙල්ෆ්ට් දූපතේ ජැටියේදී සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සමුද්‍රීය ඉංජිනේරු අධ්‍යක්‍ෂ රියර් අද්මිරාල් චින්තක රාජපක්ෂ ඇතුළු නාවික හමුදා ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන්, උතුරු පළාත් සභාවේ හා ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් සහභාගීවී සිටියහ.