කොළඹ ජාතික රෝහලෙහි දැඩි සත්කාර ඒකකයෙහි ස්ථාපිත කිරීමට නියමිත වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රතිආශ්‍රැතිකරන යන්ත්‍රය සඳහා මූල්‍ය දායකත්වය ලබාදීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරේ.

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යපෘතිය යටතේ, කොළඹ ජාතික රෝහලෙහි දැඩි සත්කාර ඒකකයේ ස්ථාපිත කිරීමට නියමිත වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රතිආශ්‍රැතිකරන යන්ත්‍රය සඳහා වූ මූල්‍යමය දායකත්වයට අදාල චෙක්පත, සන්කෙන් ඕවසීස් පුද්ගලික සමාගම විසින් අද දින (2024 සැප්තැම්බර් 19) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත ලබාදීම නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

කොළඹ ජාතික රෝහලෙහි දැඩි සත්කාර ඒකකය වෙත වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රතිආශ්‍රැතිකරන යන්ත්‍රයක් ස්ථාපිත කර දෙන ලෙස එම රෝහලෙහි අධ්‍යක්‍ෂ විසින් නාවික හමුදාව වෙතින් ඉල්ලීමක් සිදු කෙරිණි. ඒ අනුව, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය දායකත්වය ලබාදීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපති විසින් සන්කෙන් ඕවසීස් පුද්ගලික සමාගම දැනුවත් කිරීමෙන් අනතුරුව, වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රතිආශ්‍රැතිකරන යන්ත්‍රය ස්ථාපිත කිරීම සඳහා වන මූලද්‍ය දායකත්වයට අදාල චෙක්පත එම සමාගම වෙතින් නිල වශයෙන් නාවික හමුදාධිපති වෙත ලබාදීම, අද දින (2024 සැප්තැම්බර් 19) මෙලෙස නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකාරක (නාවික සමාජීය මෙහෙවර) කොමාණ්ඩර් බුද්ධික රන්දිමාල්, සන්කෙන් ඕවසීස් පුද්ගලික සමාගමෙහි කළමණාකාර අධ්‍යක්‍ෂක මෙවන් ගුණතිලක මහතා සහ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.