වෙරුගල් ආරු වෙරුගලම්පති ශ්‍රී චිත්‍රවේලායුදර් ස්වාමි හින්දු දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍ය පැවැත්වීම සඳහා නාවික හමුදා සහය

ත්‍රිකුණාමලය වෙරුගල් ආරු, වෙරුගලම්පති ශ්‍රී චිත්‍රවේලායුදර් ස්වාමි හින්දු දේවස්ථානයේ දින 14 ක් පුරා පැවති වාර්ෂික දේවමංගල්‍ය 2024 සැප්තැම්බර් මස 18 වන දින නිමාවට පත් වූ අතර, වෙරුගල් ආරු ගංඟාව ආශ්‍රිතව සිදුකෙරුණු පුද පූජා වත්පිළිවෙත් සඳහා සහභාගී වූ විශාල බැතිමතුන් පිරිසකගේ ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාව ජීවිත ආරක්‍ෂක සේවා සැපයීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, මුරුගන් දෙවියන් වෙනුවෙන් වෙරුගල් ආරු, වෙරුගලම්පති ශ්‍රී චිත්‍රවේලායුදර් ස්වාමි හින්දු දේවස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන මෙම දේවමංගල්‍ය සඳහා මෙවර හින්දු බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වී සිටි අතර, එම බැතිමතුන්හට ආරක්‍ෂිතව වෙරුගල් ආරු ගංඟාව ආශ්‍රිතව පුද පූජා හා වත්පිළිවෙත් සිදුකිරීම වෙනුවෙන් මෙලෙස නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ අධීක්‍ෂණයෙන් නාවික හමුදා ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ ජීවිත ආරක්‍ෂක කණ්ඩායම් සහ යාත්‍රා යෙදවීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.