ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කල නාවික පුද්ගලයින් 32 ක් වෙත ලාංඡන පැළඳවීම අභිමානවත්ව පවත්වයි

නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ විසි අටවන (28) සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කල නිලධාරීන් හතර දෙනෙකු (04) සහ නාවිකයන් විසි අට දෙනෙකු (28) වෙත ලාංඡන පැළඳවීමේ උත්සවය 2024 සැප්තැම්බර් මස 14 වන දින පුත්තලම, ග‍ඟේවාඩිය ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථාන ප්‍රධාන සරඹ පිටියේදී, වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන ගේ ආරාධනයෙන්, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් ගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් අයුරින් පැවැත්විණි.

මාස හතක (07) කාල සීමාවක් පැවති මෙම පුහුණු පාඨමාලව තුලදී කුඩා යාත්‍රා මෙහෙයුම් කටයුතු පිළිබඳව සහ හදිසි හා ස්වභාවික ආපදා තත්වයන්හි දී ආපදාවට පත්වන පිරිස් ඉන් මුදවා ගැනීම හා ඔවුන්ගේ ජීවිත සහ දේපල ආරක්‍ෂා කර අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් සඳහා මනා ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුවක් ලබා දීම සිදු කෙරිණි.

පුහුණු කාල සීමාව තුළදී සුවිශේෂී කුසලතා දැක්වූවන් සඳහා විශේෂ සම්මාන පිරිනැමීම, නාවික හමුදාධිපති නියෝජනය කරමින් මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් විසින් සිදු කෙරිණි. ඒ අනුව, විශිෂ්ඨතම පුහුණුවන්නා සහ දක්‍ෂතම ජීවිතාරක්‍ෂකයා ලෙස උප ලුතිනන් ජීඑල්එස් ජයරුවන් විසින් සම්මාන හිමි කර ගන්නා ලද අතර, දක්ෂතම යාත්‍රා හසුරවන්නා සහ හොඳම ශාරීරික යෝග්‍යවත් පුහුණුවන්නා ලෙස බල නැවි ජේඑම්පීජීපීඩී ජයසේකර විසින් සම්මාන හිමි කර ගන්නා ලදී.

පුහුණුව අවසන් කල නාවික පුද්ගලයින් ඇමතූ , නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිශාන්ත පීරිස්, ප්‍රථමයෙන් ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කල නාවික පුද්ගලයින් වෙත සිය සුභාශිංසන පිරිනැමීමට කටයුතු කෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, මේ වන විට යුදමය වාතාවරණයක් නොමැති වුවත් ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය සඳහා එක්වූ නව සාමාජිකයින්ගේ ප්‍රධාන රාජකාරිය වන්නේ දිවයින වටා ඇති මුහුදු තීරය ආරක්‍ෂා කිරීම බවත්, නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීම, මුහුද මාර්ගයෙන් සිදුකෙරෙන නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැළැක්වීම හා නීති විරෝධී භාණ්ඩ ප්‍රවාහනය වැළැක්වීම එහිදී ප්‍රමුඛ වන බවත් ප්‍රකාශ කරන ලදී. එමෙන්ම, ජීවිත ආරක්‍ෂකයෙකු ලෙස ගංවතුර, නායයෑම් වැනි ස්වභාවික ආපදාවන් හිදී පීඩාවට පත්වන මහජනතාව මුදවා ගැනීම සඳහා අවශ්‍ය උසස් ප්‍රායෝගික හා න්‍යායික පුහුණුවක් සමඟින් විසිර යන ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලගණයේ නව සාමාජිකයන්, එම රාජකාරීන් නොපිරිහෙළා ඉටු කිරීමට කටයුතු කලයුතු බවද අවධාරනය කෙරිණි.

මෙම ලාංඡන පැළඳවීමේ උත්සව අවස්ථාවේදී සිය පුහුණු වීමෙන් ලද පන්නරය විදහා දක්වමින් 28 වන සුදුසුකම් ලැබීමේ පාඨමාලාවට අයත් නාවික පුද්ගලයින් විසින් කුඩා යාත්‍රා උපයෝගී කරගනිමින් සතුරු ඉලක්ක වෙත ප්‍රහාර එල්ලකිරීමේ සහ ආපදා සහන මෙහෙයුම් පිළිබඳ ප්‍රදර්ශනාත්මක අභ්‍යාසයන් සිදුකරන ලද අතර, ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයක්ද එක් විය.

"අනන්තයට එහා දිවෙන විජයග්‍රහණයක් කරා" යන තේමා පාඨය රැගත්, 2007 වර්ෂයේ ස්ථාපිත ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය, දශක තුනකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය මෙරටින් මුලිනුපුටා දැමීමේ මානුෂීය මෙහෙයුමේදී, සංග්‍රාමික යුද උපක්‍රමයක්වූ කුඩා යාත්‍රා සංකල්පය සාර්ථකව ක්‍රියාවට නංවමින් සතුරාට දරුණු ප්‍රහාර එල්ල කර, උතුරු නැගෙනහිර මුහුදු සංචරණ කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා නාවික හමුදාවට සුවිශේෂී දායකත්වයක් දක්වන ලදී.

එමෙන්ම, මානුෂීය මෙහෙයුම විජයග්‍රහණය සඳහා දායකවූ මෙම බලඝණය, වර්තමානයේදී මෙරට මුහුදු කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී කටයුතු ඇතුළු සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග ජයගැනීමට සුවිශේෂී දායකත්වයක් දක්වන අතර, ස්වභාවික ව්‍යසන හමුවේ ආපදාවට පත්වන මහජනතාව වෙත සහන සැලසීමේ මෙහෙයුම් සඳහා ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් දායකත්වය ලබාදීමට නිරන්තර සූදානමින් සිටියි.

තවද, මෙම අවස්ථාව සඳහා ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරී කපිතාන් නඳුන් රණවීර ඇතුළු වයඹ නාවික විධානයේ හා නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම මෙම පාඨමාළාව සඳහා සහභාගී වූ නාවික පුද්ගලයන්ගේ දෙමව්පියන් ද සහභාගී වී සිටියහ.