නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් පූජිත විතාන නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 36 කට අධික සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් පූජිත විතාන අද දින (2024 සැප්තැම්බර් 13) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ප්‍රමුඛ නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 55 වන උපන් දිනය යෙදී ඇති රියර් අද්මිරාල් පූජිත විතාන වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද ‍කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් රියර් අද්මිරාල් පූජිත විතාන වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.

1988 වසරේදී 18 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් පූජිත විතාන, සිය වසර 36 කට අධික සේවා කාලය තුළ විවිධ ආයතන සහ නෞකාවන්හි අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර ඇත. තවද, ඔහු විධාන මෙහෙයුම් නිලධාරී (නැගෙනහිර), ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ පුහුණු කපිතාන්, කපිතාන් මෙහෙයුම් දෙපාර්තමේන්තුව (උතුර), නාවික අණභාර නිලධාරී (හම්බන්තොට) සහ වරාය පහසුකම් ආරක්‍ෂක නිලධාරී (හම්බන්තොට වරාය), අධ්‍යක්‍ෂ නාවික පරිපාලන, නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති සහ වරාය පහසුකම් ආරක්‍ෂක නිලධාරී (ත්‍රීකුණාමලය වරාය), ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් යන ප්‍රමුඛ නිලතල දරමින් කටයුතු කළ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.