ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව, සමුද්‍රීය පරිසර සංරක්‍ෂණ අධිකාරිය (Marine Environment Protection Authority - MEPA) හා එක්ව, 2024 සැප්තැම්බර් මස 21 වන දිනට යෙදෙන ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය නිමිත්තෙන් සින්න මුගත්තුවාරම් සහ ආරුගම්බේ වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2024 සැප්තැම්බර් මස 10 සහ 11 දෙදින පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග ගේ අධීක්‍ෂණයෙන්, ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග සහ දීඝායු ආයතනයන්ගේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන මඟින්, සින්න මුගත්තුවාරම් සහ ආරුගම්බේ වෙරළ තීරයන්හී විසිරී තිබූ ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය රැසක් වෙරළ තීරයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා ගිණිකොන නාවික විධානයේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් හා නාවිකයන්, සමුද්‍රීය පරිසර සංරක්‍ෂණ අධිකාරියේ නිළධාරීන් සහ යුද හමුදා පුද්ගලයන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.