නාවික හා සාගරික විද්‍යාපීඨයේ කීර්තිමත් ආඥාපති වරයෙක් වන ලුතිනන් කොමාණ්ඩර් (උපදේශක) සෝමසිරි දේවේන්ද්‍ර (විශ්‍රාමික) වෙත නාවික හා සාගරික විද්‍යාපීඨයේ දී බුහුමන් දැක්වීමේ උළෙලක්

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ කීර්තිමත් ආඥාපතිවරයෙක් වන එම විද්‍යාපීඨයේ හය වන ආඥාපති ලෙස සේවය කල, ලුතිනන් කොමාණ්ඩර් (උපදේශක) සෝමසිරි දේවේන්ද්‍ර (විශ්‍රාමික) වෙත බුහුමන් දැක්වීමේ උළෙලක්, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 සැප්තැම්බර් 08), නාවික හා සාගරික විද්‍යාපීඨයේ, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

මෙම බුහුමන් දැක්වීමේ අවස්ථාව සඳහා නාවික හා සාගරික විද්‍යාපීඨයට පැමිණි ලුතිනන් කොමාණ්ඩර් (උපදේශක) සෝමසිරි දේවේන්ද්‍ර (විශ්‍රාමික) සහ එම මැතිණිය, නාවික හමුදාධිපති විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, නාවික හා සාගරික විද්‍යාපීඨයේ හය වන ආඥාපති ලෙස ලුතිනන් කොමාණ්ඩර් (උපදේශක) සෝමසිරි දේවේන්ද්‍ර (විශ්‍රාමික) විසින් සිදුකල විශිෂ්ඨ සේවයට කෘතගුණ දැක්වීමක් ලෙස ඔහු වෙත මෙලෙස බුහුමන් දැක්වීම සිදුකෙරිණි.

මෙම විශේෂ අවස්ථාවට සමගාමීව නාවික හමුදාධිපති විසින් නාවික හා සාගරික විද්‍යාපීඨයේ උපාධිධාරී පුහුණු මධ්‍යස්ථානයේ වෙබ් පිටුව නිල වශයෙන් ආරම්භ කිරීම සහ, ලුතිනන් කොමාණ්ඩර් (උපදේශක) සෝමසිරි දේවේන්ද්‍ර (විශ්‍රාමික) විසින් ඉගෙනුම් කළමණාකරන පද්ධතියේ වෙබ් පිටුව නිල වශයෙන් ආරම්භ කිරීම සිදුකෙරුණු අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් ලුතිනන් කොමාණ්ඩර් (උපදේශක) සෝමසිරි දේවේන්ද්‍ර (විශ්‍රාමික), එම මැතිණිය සහ ඔවුන්ගේ දියණිය වෙත සමරු තිලිණ ප්‍රදාණය කිරීමද එහිදී සිදුකෙරිණි.

තවද, මෙම උත්සව අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණිය, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, නාවික හා සාගරික විද්‍යපීඨයේ ආඥාපති කොමදෝරු රොහාන් ජෝෂප් ඇතුළු නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.