ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතන පරිශ්‍රයේ ස්ථාපිත විධාන දන්ත ශල්‍යාගාරය විවෘත කෙරේ

උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතන පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද උතුරු නාවික විධාන දන්ත ශල්‍යාගාරය විවෘත කිරීම, 2024 සැප්තැම්බර් මස 06 වන දින උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධාන දන්ත ශල්‍යගාරය 1997 වර්ෂයේ සිට ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය තුල පිහිටා තිබූ අතර, උතුරු නාවික විධානයට අයත් නාවික හමුදා පුද්ගලයින්ගේ දන්ත වෛද්‍ය සේවාවන් ලබාගැනීමේද ඇති වන පරිපාලන කටයුතු අවම කරගැනීම වෙනුවෙන් විධාන දන්ත වෛද්‍ය ශල්‍යාගාරය ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතන පරිශ්‍රයේ ස්ථාපිත කිරීම ආරම්භ කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, උතුරු නාවික විධාන ආඥාපති ගේ අධීක්‍ෂණය යටතේ, විධාන සිවිල් ඉංජිනේරු දෙපාර්ත‍මේන්තුවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් කොවීඩ් 19 රෝගීන් වෙන් කර තැබීම සඳහා භාවිතා කල ගොඩනැගිල්ල නවීකරණය කර උතුරු නාවික විධාන දන්ත ශල්‍යාගාරය, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය තුල ස්ථාපිත කිරීම සිදුකෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ජයන්ත බංඩාර සහ අධ්‍යක්‍ෂ නාවික දන්ත වෛද්‍ය සේවා කොමදෝරු නයනා විජේදෝරු ඇතුළු උතුරු නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.