නාවික හෙද විදුහලේ හෙද පාඨමාලාව සම්පූර්ණ කළ හෙද සිසුන් වෙත ඩිප්ලෝමා සහතිකපත් ප්‍රදාණය කෙරේ

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධිත වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ ස්ථාපිත නාවික හෙද විදුහලේ 2021 සහ 2022 බඳවා ගැනීමට අයත් නාවික හමුදා සහ ගුවන් හමුදා හෙද සිසුන්ගේ ඩිප්ලෝමා සහතිකපත් ප්‍රධානෝත්සවය 2024 සැප්තැම්බර් මස 04 වන දින වේරහැර ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය රෝහල් ශ්‍රවනාගාරයේදී සිදුකෙරිණි.

ඒ අනුව, නාවික හෙද විදුහලේ 2021 සහ 2022 බඳවා ගැනීමට අයත් හෙද සිසුන් වෙත ඩිප්ලෝමා සහතිකපත් ප්‍රදාණය කිරීම ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති රියර් අද්මිරාල් එච්ජීයූඩී කුමාර (විශ්‍රාමික) සහ හිටපු යුද හමුදා අධ්‍යක්ෂ ජනරාල් සෞඛ්‍ය සේවා මේජර් ජෙනරාල් පීඒසී ප්‍රනාන්දු විසින් සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා රියර් අද්මිරාල් ජනක මාරඹගේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් හා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයන්හි ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ කතිකාචාර්ය වරුන් ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.