නාවික මුද්‍රණ ඒකකයෙහි ඩිජිටල් මුද්‍රණ පහසුකම් ස්ථාපිත කෙරේ

වැලිසර නාවික සංකිර්ණයේ, නාවික මුද්‍රණ ඒකකය මඟින් ලබාදෙනු ලබන සේවාවන් පුළුල් කරමින් ස්ථාපිත කල ඩිජිටල් මුද්‍රණ යන්ත්‍රයේ මුද්‍රණ කටයුතු ආරම්භ කිරීම, 2024 සැප්තැම්බර් මස 05 වන දින අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන් නාවික මුද්‍රණ ඒකකයේදී සිදුකෙරිණි.

නාවික හමුදාවේ විවිධ අවස්ථාවන් සහ පුහුණු කටයුතු වෙනුවෙන් මුද්‍රණ අවශ්‍යතා පිටත වෙළඳපල වෙතින් ලබාගැනීමේදී වැය වන විශාල පිරිවැය සහ කාලය ඉතිරි කරගැනීමට මෙන්ම, එම අවශ්‍යතා ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව සපුරා ගැනීමේ අරමුණෙන්, නාවික මුද්‍රණ ඒකකය 2015 වර්ෂයේදී වැලිසර නාවික පරිශ්‍රයේ ස්ථාපිත කෙරිණි.

ඒ අනුව, නාවික මුද්‍රණ ඒකකය මඟින් ලබාදෙන සේවාවන් තවදුරටත් පුළුල් කරමින්, ඩිජිටල් මුද්‍රණ පහසුකම් සහිත මුද්‍රණ යන්ත්‍රයක් නාවික මුද්‍රණ ඒකකය තුල ස්ථාපිත කෙරුණු අතර, එහි මුද්‍රණ කටයුතු ආරම්භ කිරීම මෙලෙස අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු ගේ ප්‍රධානත්වයෙන් 2024 සැප්තැම්බර් මස 05 වන දින නාවික මුද්‍රණ ඒකකයේදී සිදුකෙරිණි.

නාවික මුද්‍රණ ඒකකය තුල ස්ථාපිත කෙරුණු මෙම නව මුද්‍රණ පහසුකම සමඟ නාවික හමුදාවේ විවිධ අවස්ථා සහ පුහුණු කටයුතු සඳහා අවශ්‍ය ඩිජිටල් මුද්‍රණ පහසුකම් අවශ්‍යතා පමණක් නොව, නාවික හමුදා පුද්ගලයන්ගේ විවිධ ඩිජිටල් මුද්‍රණ අවශ්‍යතාද ඉතා පහසුවෙන් සපුරා ගැනීමට අවස්ථාව උදාවනු ඇත.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මූලස්ථානයේ සහ වැලිසර නාවික පරිශ්‍රයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ නාවික මුද්‍රණ ඒකකයේ අණභාර නිලධාරී කපිතාන් චමින්ද විජේසිරි ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගීවී සිටියහ.