ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යායතනයේ නිලධාරීන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යායතනයේ මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් ගෙන් සහ අධ්‍යන කාර්යමණ්ඩල සාමාජිකයින් ගෙන් සමන්විත නියෝජිතයන් පිරිසක් අද දින (2024 සැප්තැම්බර් 02) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.

මෙම අධ්‍යයන සංචාරය සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ජාතික ආරක්ෂක විද්‍යායතනයේ 64 වන මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් 19 ක් සහභාගී වූ අතර, එම නියෝජිත පිරිසෙහි ප්‍රධානී ලෙස ඒකාබද්ධ ලේකම් Shri Vijay Nehra මහතා කටයුතු කරනු ලබයි.

ඒ අනුව, මෙම නියෝජිත පිරිස නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවී සුහද පිළිසඳරක නිරතවීමෙන් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති සහ ඉන්දියානු ධූත පිරිසෙහි ප්‍රධානී අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යභාරය සම්බන්ධයෙන් සිදු කෙරුණු දේශනයක් සඳහාද ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යායතනයේ නියෝජිත පිරිස සහභාගී වූ අතර, එම අවස්ථාවන් සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිශාන්ත පීරිස්, නාවික හමුදාධිපතිගේ නාවික සහායක රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් එම් ආනන්ද් (Captain M Anand) ද සහභාගි වී සිටියහ.