නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් අනිල් බෝවත්ත නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට ආසන්න සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් අනිල් බෝවත්ත අද දින (2024 අගෝස්තු 26) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ප්‍රමුඛ නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 55 වන උපන් දිනය යෙදී ඇති රියර් අද්මිරාල් අනිල් බෝවත්ත වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද ‍කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් රියර් අද්මිරාල් අනිල් බෝවත්ත වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.

1991 වසරේදී 09 වන කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලීය බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් අනිල් බෝවත්ත, සිය වසර 33 කට ආසන්න සේවා කාලය තුළ විවිධ ආයතන සහ නෞකාවන්හි අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර ඇත. තවද, ඔහු ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරී (පුද්ගල) I, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ අණදෙන නිලධාරී හා පුහුණු කපිතාන්, නාවික අණභාර නිලධාරී (දූපත්), දියත් විධානයේ කොමදෝරු මුහුදු පුහුණු, කොළඹ ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ ජ්‍යේෂ්ඨ උපදේශක (නාවික), නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, නැගෙනහිර නාවික විධානයේ වැඩ බලන ආඥාපති සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන යන ප්‍රමුඛ නිලතල දරමින් කටයුතු කළ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.