වැලිසර නාවික සංකීර්ණයේ අභිනවයෙන් ඉදිකරන ලද නාවික විවාහක නිවාස ගොඩනැගිල්ල නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

නාවික හමුදා පුද්ගලයින්ගේ හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ සුභසාධන පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් වැලිසර නාවික සංකිර්ණ පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද නාවික විවාහක නිවාස ගොඩනැගිල්ල විවෘත කර නාවික හමුදා පුද්ගලයින්ගේ පරිහරණය සඳහා භාරදීම අද දින (2024 අගෝස්තු 23) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් වැලිසර නාවික සංකිර්ණයේදී සිදුකෙරිණි.

මෙම නව මහල් නාවික විවාහක නිවාස ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් කටයුතු බටහිර නාවික විධාන සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ආරම්භ කෙරුණු අතර, විවාහක නිවාස 36 කින් සමන්විතව ඉදිකෙරෙන මෙම ගොඩනැගිල්ලෙහි, අවසන් කරන ලද මහල් තුන තුල අංග සම්පූර්ණ නිවාස 12 ක් ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින්ගේ පරිහරණය සඳහා අද දින (2024 අගෝස්තු 23) මෙලෙස නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, නාවික හමුදා පුද්ගලයින්ගේ විවාහක නිවාස ගැටළුවට විසඳුමක් ලෙස ආරම්භ කරන ලද මෙම විවාහක නිවාස ව්‍යාපෘතිය, කොවීඩ් 19 වසංගත තත්වය හේතුවෙන් තාවකාලිකව නතර කිරීමෙන් පසුව, නාවික හමුදා සුභසාධක අරමුදලේ ප්‍රථිපාදන මඟින් නැවත ආරම්භ කළ බවත්, ආර්ථික අපහසුතාවයන් මධ්‍යයේ වුවද මෙම විවාහක නිවාස ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් අරමුදල් ලබාදීම සම්බන්ධයෙන් රජයට හා මුදල් අමාත්‍යංශය වෙත ස්තූතිය පුදකරනු ලබන බවත් ප්‍රකාශ කරන ලදී. ඉදිරියේදී වැලිසර නාවික සංකීර්ණයේ විවාහක නිවාස පහසුකම් තවදුරටත් පුළුල්කර නාවිකයින්ගේ විවාහක නිවාස ගැටළුව විසදීමට අපේක්‍ෂා කරන බව පැවසූ නාවික හමුදාධිපති,

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, නාවිකයන් නිවාස භාරගැනීමේදී පවතින තත්වයෙන්ම නැවත භාරදීම සිදුකළ යුතු බව විශේෂයෙන් අවධාරණය කරන ලදී. බටහිර නාවික විධානයේ භාවිතයට ගත නොහැකි විවාහක නිවාස නාවික හමුදා සේවා වනිතා ඒකකයේ මුදල් ප්‍රථිපාදන මඟින් නැවත ප්‍රථිසංස්කරණය කර කෙටි කාලයක් ඇතුලත ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් වෙත ලබාදීමට අපේක්‍ෂා කරන බවත්, නැගෙනහිර නාවික විධානය තුළද විවාහක නිවාස නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ප්‍රථිපාදන මඟින් ප්‍රථිසංස්කරණය කිරීමට අපේක්‍ෂා කරන බවත් ප්‍රකාශ කරන ලදී. එමෙන්ම, දකුණු නාවික විධානය තුළද නාවිකයන්ගේ විවාහක නිවාස ගැටළුවට විසඳුමක් ලබාදීමට වැඩපිළිවෙළක් සිදු කෙරෙමින් පවතින බවත්, නාවික හමුදා මූලස්ථානය අකුරේගොඩ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණය වෙත රැගෙන යාමේදී ඇති වන නිලධාරී නිවාස ගැටළුව සඳහාද විසඳුම් සෙවීමට අවශ්‍ය පියවර ගන්නා බවත් පවසන ලදී. නාවික පුද්ගලයන්ගේ නිවාස ගැටළුව සඳහා දීර්ඝකාලීන විසඳුමක් ලෙස, නාවික හමුදාවට බැඳෙන අවස්ථාවේදී නිවාසයක් ඉදිකිරීම සඳහා ආයෝජන ක්‍රමයක් හඳුන්වාදී, නාවික හමුදාවෙන් ඉවත් වන විට තම ප්‍රදේශයේ නිවසක හිමිකම ලබාගැනීමට හැකි වන පරිදි ඉදිරියේදී විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමටද අපේක්‍ෂා කරන බවත් නාවික හමුදාධිපති විසින් පවසන ලදී.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණිය, විශ්‍රාමික නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් ප්‍රියල් විතානගේ, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ලශාන්ත් එන් හේවාවිතාරණ, අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් හා සේවා රියර් අද්මිරාල් රුවන් කළුබෝවිල, අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු රියර් අද්මිරාල් ප්‍රශාන්ත ඇන්තනී, වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු කොමදෝරු රවී ගුණසිංහ, ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගී වී සිටි අතර, මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා දායකත්වය දැක්වූ සියළුම නාවික හමුදා පුද්ගලයින් ඇගයීමද එහිදී නාවික හමුදාධිපති විසින් සිදුකෙරිණි.