නාවික තඨාකාංගනයේ ස්ථාපනය කළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කෙරේ

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික තඨාකාංගනයේ, නාවික යුදායුධ දෙපාර්තමේන්තු ජැටිය පරිශ්‍රයේ (CNAD Pier) ස්ථාපනය කළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය අද දින (2024 අගෝස්තු 20) නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථාන ස්ථාපනය කිරීමේ සමාජ සත්කාරක ව්‍යාපෘතිය නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් ක්‍රියාවට නංවනු ලබයි. ඒ අනුව, එම ව්‍යාපෘතිය යටතේ නාවික තඨාකාංගනයේ, නාවික යුදායුධ දෙපාර්තමේන්තු ජැටිය පරිශ්‍රයේ ස්ථාපනය කළ 1024 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය, විවෘත කිරීම නැගෙනහිර නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

තවද, මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය ස්ථාපනය මඟින් නාවික යුදායුධ දෙපාර්තමේන්තු ජැටියට යාබදව නවත්වනු ලබන නාවික හමුදා යාත්‍රාවන්ගේ නාවික හමුදා පුද්ගලයන්ගේ මෙන්ම නාවික තඨාකාංගනයේ නාවික හමුදා පුද්ගලයන්ගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.