නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 37 කට ආසන්න සේවා කාලය නිම කරමින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක අද දින (2024 අගෝස්තු 16) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ප්‍රමුඛ නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 55 වන උපන් දිනය යෙදී ඇති රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද ‍කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.

1987 වසරේදී 17 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, සිය වසර 37 කට ආසන්න සේවා කාලය තුළ විවිධ ආයතන සහ නෞකාවන්හි අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර ඇත. තවද, ඔහු සපුගස්කන්ද, ආරක්‍ෂක ‍සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පුහුණු කණ්ඩායම් ප්‍රධානී හා උපදේශක (නාවික) වැඩබලන අධ්‍යක්‍ෂ ක්‍රීඩා, නාවික හා සාගරික විද්‍යාපීඨයේ අණදෙන නිලධාරී සහ වෙළඳ නෞකා පුහුණු පාසලේ විදුහල්පති, දියත් විධානයේ කොමදෝරු මුහුදු පුහුණු, නාවික අණභාර නිලධාරී වැලිසර හා නාවික පර්යේෂණ ඒකකයේ ප්‍රධානී, කොළඹ ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ ජ්‍යේෂ්ඨ උපදේශක (නාවික), අධ්‍යක්‍ෂ නාවික ප්‍රතිපත්ති හා සැලසුම්, ගිනිකොණ නාවික විධානයේ ආඥාපති, උතුරු මැද නාවික විධානයේ ආඥාපති, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් හා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී යන ප්‍රමුඛ නිලතල දරමින් කටයුතු කළ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.