ඕස්ට්‍රේලියානු ස්වෛරී දේශසීමා මෙහෙයුම් පිළිබඳ ඒකාබද්ධ කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී නිල හමුවක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ, ස්වෛරී දේශසීමා මෙහෙයුම් පිළිබඳ ඒකාබද්ධ කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී (Commander Joint Agency Task Force Operation Sovereign Borders) Rear Admiral Brett Sonter RAN සහ එම බලකායේ නියෝජිතයන් පිරිසක් අද දින (2024 අගෝස්තු 14) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

ඒ අනුව, නාවික හමුදාධිපති විසින් රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ, ස්වෛරී දේශසීමා මෙහෙයුම් පිළිබඳ ඒකාබද්ධ කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී Rear Admiral Brett Sonter සහ ඕස්ට්‍රේලියානු දේශසීමා බලකායේ නියෝජිතයන් නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සුහද පිළිසඳරක් පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Colonel Amanda Johnston සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූ අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.

තවද, මෙම නිල හමුවට සමගාමීව ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය වෙතින් ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් සඳහා ලබාදීමට නියමිත විශේෂ රථ තුනෙන් (03) (All- Tertian Vehicles AVTs) රථ දෙකක් (02) ලබාදීම කොළඹ වරාය පරිශ්‍රයේදී සිදුකෙරිණි.

එම විශේෂ රථ ලබාදීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ගරු Paul Stephens මහතා, ස්වෛරී දේශසීමා මෙහෙයුම් පිළිබඳ ඒකාබද්ධ කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී Rear Admiral Brett Sonter RAN, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, රියර් අද්මිරාල් පූජිත විතාන, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ හා ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී සිටියහ.