ශ්‍රී ලංකා නාවික හමුදා සුනඛ සංචිතය වෙත බෙල්ජියම් මැලිනොයිස් වර්ගයේ සුනඛ පැටවුන් 02ක් පරිත්‍යාග කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සුනඛ සංචිතය වෙනුවෙන් (Military Working Dog Unit – MWD) බෙල්ජියම් මැලිනොයිස් වර්ගයේ සුනඛ පැටවුන් දෙදෙනෙක් (02) සහ උපකරණ පරිත්‍යාග කිරීම කපිතාන් එරල්ඩ් ධර්මරත්න (Master Mariner) විසින් 2024 අ‍ගෝස්තු මස 09 වන දින සිදු කෙරුණු අතර, එම පරිත්‍යාගය භාර ගැනීම වැඩ බලන ආඥාපති නාවික පාබල කොමදෝරු සනත් පිටිගල විසින් සිදු කෙරිණි.

නාවික හමුදාව සිදුකරනු ලබන පුළුල් පරාසයක මෙහෙයුම් තුළ සිදු කෙරෙණ විශේෂ මෙහෙයුම් සඳහා නාවික හමුදා සුනඛ සංචිතයේ සුනඛයින්ගේ දායකත්වය ලබාගනු ලබයි. ඒ අනුව, තියුණු බුද්ධිය, කඩිසරකම සහ ඉතා ශක්තිමත් බවින් යුත් බෙල්ජියම් මැලිනොයිස් සුනඛ විශේෂයට අයත් මෙම සුනඛ පැටවුන්ගේ සේවය ඉදිරියේදී නාවික හමුදාව සිදුකරනු ලබන විශේෂ මෙහෙයුම් සඳහා කාර්යක්‍ෂමව හා ඵලදායී ලෙස යොදා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

එමෙන්ම, කපිතාන් එරල්ඩ් ධර්මරත්න විසින් බෙල්ජියම් මැලිනොයිස් වර්ගයේ සුනඛ පැටවුන් දෙදෙනා සමඟ උසස් තත්ත්වයේ සුනඛ ආහාර, විටමින් වර්ග, මයික්‍රොචිප් හඳුනාගැනීමේ ආධාරකයක් සහ සුනඛ කූඩු 05ක් ඇතුළුව රුපියල් මිලියනයක පමණ වටිනාකමින් යුත් අත්‍යාවශ්‍ය උපකරණ තොගයක් පරිත‍්‍යාග කිරීමද සිදුකෙරිණි.