ප්‍රථම සේවා වනිතා සිංගර් ප්‍රදර්ශනාගාරය වැලිසර නාවික සංකීර්ණයේදී විවෘත කෙරේ

නාවික හමුදා පුද්ගලයින්ගේ සුභසාධන පහසුකම් පුළුල් කරමින්, ප්‍රථම සේවා වනිතා සිංගර් ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම අද දින (2024 අගෝස්තු 07) නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් වැලිසර නාවික සංකීර්ණයේදී සිදුකෙරිණි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ පූර්ණ අධීක්‍ෂණය හා මඟපෙන්වීම යටතේ, නාවික හමුදා පුද්ගලයින් හට අත්පිට මුදලට සහ පහසු ගෙවීමේ පදනම මත විදුලි හා විද්‍යුත් උපකරණ මිල දී ගැනීමට අවස්ථාව ලබාදීම උදෙසා, සේවා වනිතා ඒකකය මඟින් සිංගර් පුද්ගලික සමාගම සමඟ සම්බන්ධීකරණය වී වැලිසර නාවික සංකීර්ණයේ ස්ථාපිත කල ප්‍රථම නාවික හමුදා සේවා වනිතා සිංගර් ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම, මෙලෙස සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ සිංගර් ආයතනයේ අධ්‍යක්‍ෂක (අලෙවි) වජිර තෙන්නකෝන් මහතා, සේවා වනිතා විධායක කමිටු සාමාජිකා ප්‍රියංගා කුමාරසිංහ මැතිණිය ඇතුළු බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගීවී සිටියහ.