කල්පිටිය ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නාවික හමුදා සහය

කල්පිටිය, තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, හලාවත රදගුරු ආර්. දොන් විමල් ශ්‍රී ජයසූරිය හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සහ කිතුනු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2024 අගෝස්තු මස 04 වන දින කල්පිටිය, තලවිල ශාන්ත ආනා දේවස්ථානයේදී පැවැත්වුණු අතර, එය සාර්ථකව පැවැත්වීම සඳහා නාවික හමුදාවේ දායකත්වය ලබාදීමට කටයුතු කෙරිණි.

ඵෙතිහාසික සම්ප්‍රදායක් ලෙස කල්පිටිය, තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය පැවැත්වීම සඳහා අවශ්‍ය ආරක්‍ෂාව සහ ජීවිතාරක්‍ෂක සේවා ලබාදෙමින් නාවික හමුදාව අඛණ්ඩව දායක වේ. ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදා දායකත්වයෙන් සිදු කරනු ලබන ශාන්ත ආනා මෑණියන්ගේ ප්‍රතිමාව වීථි සංචාරය කිරීම මෙවරද නාවික හමුදාවේ දායකත්වයෙන් අති උත්කර්ෂවත් අයුරින් සිදු කෙරුණු අතර, වාර්ෂික දේව මංගල්‍යයයේ අවසන් සන්ධ්‍යා දේව මෙහෙය සඳහා උතුරු මැද නාවික විධානයේ ආඥාපති හා නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සමඟ නාවික හමුදා නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් ද සහභාගී වූහ.

තවද, කල්පිටිය, තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සදහා නාවික හමුදාව විසින් ලබා දුන් දායකත්වය සම්බන්ධයෙන් දේවස්ථානය භාර පූජකතුමන් ඇතුළු බැතිමතුන් නාවික හමුදාධිපති ඇතුළු සමස්ථ නාවික හමුදාව වෙත ප්‍රශංසාව පල කිරීමද එහිදී සිදුකෙරිණි.