ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Shalki’ සබ්මැරීනය නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

නිල සංචාරයක් සඳහා 2024 අගෝස්තු මස 02 වන දින දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Shalki’ සබ්මැරීනය, නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2024 අගෝස්තු 04) දිවයිනෙන් පිටත්වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

‘INS Shalki’සබ්මැරීනය දිවයිනේ රැඳී සිටි කාල සීමාවේදී එහි මෙහෙයුම් ක්‍රියාකාරීත්වය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන් සහභාගී වූ අතර, සබ්මැරීනයේ නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමද සිදුකෙරිණි.

තවද, කලාපීය නාවික හමුදාවන් විසින් සිදුකරනු ලබන මෙවැනි සංචාර මඟින් වැඩිදියුණු වන සුහදත්වය හා සහයෝගීත්වය, ඉදිරියේදී සාගර කළාපයේ පොදු සමුද්‍රීය අභියෝග සාමූහිකව ජයගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට මහඟු පිටුවහලක් ගෙනදෙනු ඇත.