ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ උතුරු සහ දකුණු ආසියානු කලාපීය සහකාර ලේකම් ඇතුළු දූත පිරිසක් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමා හමුවෙයි

ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ උතුරු සහ දකුණු ආසියානු කලාපීය සහකාර ලේකම් Karen Radford මහත්මිය, 2024 ජූලි මස 30 වන දින කොළඹ ටොරින්ටන් පෙදෙසේ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා හමුවිය.

ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ උතුරු සහ දකුණු ආසියානු කලාප සහකාර ලේකම් සමඟ පැමිණි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ Lachlan Sillar මහතා, ප්‍රතිපත්ති නිලධාරී Noah Diamantopoulos මහතා සහ කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Amanda Johnston ඇතුළු ඔස්ට්‍රේලියානු දූත පිරිස, අමාත්‍ය තෙන්නකෝන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීමෙන් අනතුරුව, දෙපාර්ශ්වය අතර සුහද සාකච්ඡාවක් පැවැත්විණි.

එම සාකච්ඡාවේදී, ඕස්ට්‍රේලියානු රජයේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාවේ ජලශාස්ත්‍රීය සේවාවේ ධාරිතාවය ඉහල නැංවීමට අපේක්‍ෂා කරන බවත්, එහි පළමු පියවර ලෙස Shallow-Water Multi-Beam Echo Sounder සහ ඒ ආශ්‍රිත මිණුම් උපකරණ එළඹෙන සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ලබාදීමට අපේක්‍ෂා කරන බවත්, Radford මහත්මිය විසින් ප්‍රකාශයට පත් කෙරිණි. එමෙන්ම, ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ ඔස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර ප්‍රථම වතාවට පැවැත්වීමට නියමිත 'ආරක්‍ෂක සංවාදය' සඳහා දැනට පවතින පෙර සූදානම පිළිබඳවද එහිදී විශේෂයෙන් සාකච්ඡා කෙරිණි.

තවද, මෙම සාකච්ඡාවේදී, ඉන්දියානු සාගර කලාපයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් වන ද්වීපාර්ශ්වික සහයෝගිතාවය, පොදු ආරක්‍ෂක අභියෝග සහ එම අභියෝග පිටුදැකීම සඳහා අවශ්‍ය කෙරෙන අන්තර් සබඳතා ආදී ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු රාශියක් පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම සිදුකෙරිණි.

Photo courtesy: MOD Media