තැලීසීමියා රෝගීන් ගේ සත්කාරක කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වය වෙනුවෙන් උපහාර පිරිනමයි

තැලසීමියා රෝගී සත්කාරක කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉතා අඩු පිරිවැයකින් තැලසීමියා නික්ෂේපන පද්ධති නිපදවා සිදුකරනු ලබන සුවිශේෂී දායකත්වය වෙනුවෙන් නාවික හමුදාව වෙත සෞඛ්‍ය අමාත්‍යංශය වෙතින් උපහාර පිරිනැමීමේ උළෙලක් අද දින (2024 ජුලි 29) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය ගරු රමේෂ් පතිරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී සිදුකෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර මඟින් තැලසීමියා රෝගයෙන් පීඩා විඳින රෝගීන්ගේ ශරීරය තුළ එක්රැස්වන රුධිරයේ අඩංගු වැඩි අයන ඉවත් කිරීම සඳහා වන ඖෂධ ලබාදීම සිදු කරනු ලබයි. වෙළදපොළෙහි මෙම නික්ෂේපණ යන්ත්‍ර මිලෙන් ඉතා අධික බැවින්, නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් අඩු පිරිවැයකින් තැලසීමියා නික්ෂේපණ යන්ත්‍රයක් ප්‍රථම වරට 2011 වසරේදී පර්යේෂණාත්මකව නිෂ්පාදනය කෙරුණු අතර, මේ වන විට තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 3166 ක පමණ ප්‍රමාණයක් දිවයිනේ ජාතික රෝහල් වෙත සහ තෝරාගත් තැලසීමියා රෝගී දරුවන් වෙත අධියර කිහිපයක් යටතේ ලබා දීමට නාවික හමුදාව විසින් කටයුතු කර ඇත.

ඒ අනුව, තැලසීමියා රෝගී සත්කාරක කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දක්වනු ලබන සුවිශේෂී දායකත්වය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් නාවික හමුදාව වෙත උපහාර පිරිනැමීම මෙලෙස අද දින (2024 ජුලි 29) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය ගරු වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි.

එමෙන්ම, මෙම අවස්ථාවට සමගාමීව නාවික හමුදා පර්යේෂණ සහ සංවර්ධන ඒකකය විසින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපන පද්ධති 375 ක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාරදීම සහ තැලසීමියා රෝගයෙන් පෙලෙන රෝගීන් පස් දෙනෙකු (05) වෙත තැලසීමියා නික්ෂේපන පද්ධති සංකේතාත්මකව භාරදීමද, ගරු සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍යතුමාගේ සහ නාවික හමුදාධිපතිගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මහතා, සෞඛ්‍ය අමත්‍යාංශයේ ලේකම් පීජී මහීපාල මහතා, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවි රණසිංහ, අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් ප්‍රියල් විතානගේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු රියර් අද්මිරාල් ප්‍රශාන්ත ඇන්තනී, අධ්‍යක්‍ෂ නාවික ප්‍රතිපත්ති හා සැලසුම් කොමදෝරු ධනේෂ් පත්බේරිය ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.