නාවික හමුදා දායකත්වයෙන් ස්ථාපනය කළ ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) ජනතා අයිතියට

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළුගස්වැව සහ කැකිරාව ප්‍රදේශයන්හි ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) ජනතා අයිතියට පත් කිරීම 2024 ජූලි මස 26 වන දින සිදුකෙරිණි.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම විශාල සමාජ සත්කාරයක් වන අතර, එහි තවත් අධියරක් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන්, ජනාධිපති කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදාවේ තාක්ෂණික, ශිල්පීය හා ශ්‍රම දායකත්වයෙන් ඉදිකළ 1020 හා 1021 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථාන 2024 ජුලි මස 26 වන දින අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළුගස්වැව, කුඹුක්වැව ග්‍රාමයේ හා කැකිරාව, ශ්‍රාස්ත්‍රවේලිය ග්‍රාමයේදී මෙලෙස විවෘත කර ජනතා අයිතියට පත් කෙරිණි.

තවද, මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථාන ස්ථාපනය මඟින් කුඹුක්වැව සහ ශ්‍රාස්ත්‍රවේලිය ප්‍රදේශවාසී ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.