කල්පිටිය තලවිල ශාන්ත ආනා දේවස්ථාන පරිශ්‍රයේ නාවික හමුදාව මඟින් අලුත්වැඩියා කළ විශ්‍රාම ශාලාව විවෘත කෙරේ

කල්පිටිය තලවිල ශාන්ත ආනා දේවස්ථානය වැඳපුදා ගැනීමට පැමිණෙන නාවික හමුදා සේවයේ නියුතු හා විශ්‍රාමික ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් වෙනුවෙන්, නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ මූල්‍ය දායකත්වයෙන් හා නාවික හමුදා තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් අලුත්වැඩියා කළ විශ්‍රාම ශාලාව විවෘත කිරීම, 2024 ජුලි මස 25 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් එම දේවස්ථාන පරිශ්‍රයේදී සිදුකෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මගපෙන්වීම මත නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ මූල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදා සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් මෙම විශ්‍රාම ශාලාවේ අලුත්වැඩියා කටයුතු 2024 මාර්තු මස ආරම්භ කෙරිණි. ඒ අනුව එම අලුත්වැඩියා කටයුතු කඩිනමින් නිම කිරීමෙන් අනතුරුව, මෙම නිවාඩු නිකේතනය 2024 ජුලි මස 25 වන දින මෙලෙස නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා කල්පිටිය තලවිල ශාන්ත ආනා දේවස්ථානය භාර මීසම් පාලක, ගරු ලයිලි ප්‍රනාන්දු පියතුමා, උතුරු මැද නාවික විධානයේ ආඥාපති හා නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් නලීන්ද්‍ර ජයසිංහ, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල රියර් අද්මිරාල් රවින්ද්‍ර තිසේරා, නාවික හමුදාධිපතිගේ නාවික සහායක රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය, අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු රියර් අද්මිරාල් ප්‍රශාන්ත ඇන්තනී, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණිය ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ හා වයඹ නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.