කඹුරුපිටිය ඉලංගම්ගොඩ පුරාණ රජමහා විහාරස්ථානයේ නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ඉදිකිරීම් නිමකල සංඝාවාස ගොඩනැගිල්ල විවෘත කර සසුනට පූජා කෙරේ

කඹුරුපිටිය සපුගොඩ ඉලංගම්ගොඩ පුරාණ රජමහා විහාරස්ථානයේ නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ඉදිකිරීම් නිමකල සංඝාවාස ගොඩනැගිල්ල විවෘත කර සසුනට පූජා කිරීම, අද දින (2024 ජුලි 24) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථාන පරිශ්‍රයේදී සිදුකෙරිණි.

කඹුරුපිටිය සපුගොඩ ඉලංගම්ගොඩ පුරාණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය ඕමාරේ කස්සප අනුනාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා යටතේ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මගපෙන්වීම මත නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් මෙම සංඝාවාස ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු 2023 ජුනි මස 21 වන දින ආරම්භ කෙරිණි. ඒ අනුව, නවීන පහසුකම් වලින් හෙබි ගිනිහල්ගෙයකින්, ගබඩා කාමරයකින් සහ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන් වූ නේවාසිකාගරයකින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් නිමකිරීමෙන් අනතුරුව, අද දින (2024 ජුලි 24) මෙලෙස විවෘත කර සසුනට පූජා කිරීම නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා ගෞරවණීය මහා සංඝ රත්නය, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වා, වැඩ බලන අධ්‍යක‍්ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු කොමදෝරු රවී ගුණසිංහ ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ හා දකුණු නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ සැදැහැවතුන් පිරිසක් සහභාගී වී සිටියහ.